අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ප්‍රමුඛ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් 2026 නොවැම්බර් 11 දින ඉසුරුපාය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම, යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් අවශ්‍යතා, පරිපාලන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය ඇතුළු විශ්වවිද්‍යාලයේ සමස්ත ක්‍රියාකාරිත්වයට අදාළව පවතින ගැටලු සහ ඒවාට ප්‍රායෝගික විසඳුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගනිමින්, ඔවුන්ගේ අදහස් හා යෝජනා සෘජුවම විමසා බලා අදාළ පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ඒවාට ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා රජය අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවයි. ඒ අනුව, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය පියවර ගනිමින්, පවතින සම්පත් හා මූල්‍ය ප්‍රතිපාදන කාර්යක්ෂමව කළමනාකරණය කරගනිමින් ප්‍රායෝගික හා කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, ශිෂ්‍ය ප්‍රජාවගේ සාධාරණ අවශ්‍යතා හා අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්, අඛණ්ඩව හා සාර්ථකව අධ්‍යයන කටයුතු පවත්වාගෙන යා හැකි ගුණාත්මක හා යහපත් විශ්වවිද්‍යාල පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇති බව ද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.