නිවාඩු මාස වලදී ගුරු වැටුප් නතර කරන බවට  පළවන අසත්‍ය පුවත පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්

පාසල් නිවාඩු මාසවලදී ගුරු වැටුප් නතර කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා බදුල්ලේ දී  ප්‍රකාශයක් සිදු කළ බව පවසමින් වෙබ් අඩවි සහ ෆේස් බුක් සමාජ ජාලා කිහිපයක් ඔස්සේ පළ කර තිබූ අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශය විසින් අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් ලිඛිතව ඉදිරිපත් කළ මෙම පැමිණිල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් කල්ප ගුණරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුගත් ධර්මප්‍රිය, සහ නීති නිලධාරිනී සුරංගි පෙරේරා යන මහත්ම මහත්මීන්  විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (16) භාරදෙනු ලැබුවා.

ඇතැම් කණ්ඩායම් සැලසුම් සහගත ලෙස මෙම  ප්‍රවෘත්තිය ව්‍යාප්ත කිරීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ කීර්තිනාමයටත් දැඩි බලපෑමක් එල්ල වූ අතර විභාගයක් පවතින අවස්ථාවකදී ගුරුවරුන් සම්බන්ධව මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම හරහා සමාජය තුළ මහජන කැළඹීමක් ඇති වන තත්ත්වයක් නිර්මාණය වූ අතර අදාළ ව්‍යාජ ප්‍රවෘත්තිය නිර්මාණය කොට ව්‍යප්ත කිරීම සඳහා දායක වූ කණ්ඩායම් සහ සංවිධානයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි මෙම පැමිණිල්ල මගින් දන්වා ඇත්තේ.

පාසල් ප්‍රජාව සහ අමාත්‍යවරයා අතර සිත් බිඳවීම් සහ විශ්වාසය පලුඳු කිරීම මෙම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ වී ඇති අතර කුමන්ත්‍රණකරුවන් විසින් අදාල ප්‍රවෘත්තිය රිවිරෙන් උපුටා ගත් බව ප්‍රකාශ කරන නමුත් රිවිර නිළ වෙබ් අඩවියේ හෝ දැනට සති අන්ත ඉරිදා දිනයේ පමණක් නිකුත් කෙරෙන රිවිර පුවත්පතේ හෝ එවැනි ආකාරයේ කිසිදු ප්‍රවෘත්තියක් පළ නොවූ බව රිවිර කතෘ මණ්ඩලය විසින් ද   සනාථ කර ඇති බවයි පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඇතැම් වෘත්තිය සමිති නායකයන් ද මෙම පුවත පිළිබඳ නිසි ලෙස කරුණු සොයා නොබලා සිය සමාජ ජාල මගින් ඒ පිළිබඳ අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දී තිබූ බව ද එම පැමිණිල්ලේ සඳහන්.

ඒ සම්බන්ධයෙන් වන දර්ශන සහ මාධ්‍ය ලේකම් කල්ප ගුණරත්න මහතාගේ හඬ පටය සහ ව්‍යාජ වෙබ් අඩවි දර්ශන ද එවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *