‘ළමා හිංසනයට තිත පදනම’ දියත් කළ #ඉලක්කමක්පමණයි ළමා ආරක්ෂණ මාසය සාර්ථක ලෙස නිමාව දකී

‘ළමා හිංසනයට තිත පදනම’ දියත් කළ #ඉලක්කමක්පමණයි ළමා ආරක්ෂණ
මාසයේ සමාප්ති උත්සවය 2021 නොවැම්බර් 18 දින පැවැත්විණි. අතථ්‍ය (Virtual) වැඩසටහනක් ලෙස
සහභාගීවන්නන් දුරස්ථව සම්බන්ධවූ මෙම උත්සවයට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් කුමාරතුංග
මුනිදාස මැදිරියේ සිට විකාශය කල සජීවී විශේෂාංග රැසක් ඇතුළත් වී තිබිණි. 2021 ලෝක ළමා දිනය
වෙනුවෙන් පවත්වන ලද ජාතික මට්ටමේ කථික තරගයේ හා චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන් නිවේදනය
කිරීමද මෙහිදී සිදුවිය.
මෙරට දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක්
ඉටුකළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස
සහභාගී වූවා ය. එහිදී අදහස් දක්වමින් එතුමිය කියා සිටියේ, දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් තොරව
ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි යැයි සිතීම සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් බවයි. ළමා හිංසනයට තිත
පදනමෙහි අනුශාසක ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සිදත්
වෙත්තිමුණි මහතා උළෙලේ ප්‍රධාන දේශනය සිදුකළ අතර, අතීතයේ සිට මේ දක්වා ළමා විය සහ ඒ හා බැඳුණු
අදහස් වෙනස්කම් වලට භාජනය වී ඇති ආකාරය පිළිබඳව අදහස් දැක්වී ය.
ළමා හිංසනයට තිත පදනමෙහි සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය මෙම වැඩසටහන පිළිබඳව
අදහස් දැක්වූයේ මෙසේ ය. “පසුගිය මාස 14 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ දරුවන් හත් දෙනෙකු කායික හා
ලිංගික අපයෝජන වලට ලක්කර ඝාතනය කිරීමේ සිදුවීම් වාර්තා වුණා. රටේ කිසිදු බලධාරියෙකු ඒ දරුවන්
ආරක්ෂා කරගැනීමට සමත් වුණේ නැහැ. මෙවැනි තත්ත්වයක් හමුවේ, පිළිගත් රාජ්‍ය නොවන සංවිධාන 20 ක
එකතුමුතුවක් ලෙසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ළමා ආරක්ෂණ සන්ධානයක්’ නිර්මාණය කරගැනීමට අප
කටයුතු කළා. ඒ වගේම #ඉලක්කමක්පමණයි ළමා ආරක්ෂණ මාසය ඔස්සේ අප දරුවන්ගේ ආරක්ෂාව
සම්බන්ධ විවිධ පැතිමානයන් කතාබහට ලක්කළා. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ස්වාධීන හා පොලිස්
මැදිහත්වීම් වලින් තොර ආයතනයක් ලෙස පවත්වා ගැනීමට විධිවිධාන යොදන මෙන් ජනාධිපතිතුමන්ගෙන්
ඉල්ලීමක් කිරීම ඇතුළුව, දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් නිසි පරිදි වගකියන බව තහවුරු
කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකිරීමට ‘ළමා හිංසනයට තිත පදනම’ දැනටමත් සමත් වී තිබෙනවා.”
මෙම වැඩසටහන යටතේ පැවති ජාතික මට්ටමේ කථික තරගයේ මාතෘකාව වූයේ ‘මම ජනාධිපති
උපදේශකවරයෙකු වූවා නම්, දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?’
යන්නයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් රටේ දරුවන්ගේ හා තරුණ පරපුරේ අවධානය යොමුකරවීම මෙහි මූලික
අරමුණ විය. රනුජ පහළවෙල (සිංහල), එම්. ටී. එම්. අර්මාස් (දෙමළ), පෙසන්දි කරුණාරත්න (ඉංග්‍රීසි) සහ
දෙනෙත් සමරකෝන් (ජනප්‍රියතම තරගකරු) යන තරගකරුවන් හා තරගකාරියන් මෙම කථික තරගයේ
ජයග්‍රහණ හිමිකරගත්හ. චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය තනුමි ද සිල්වා වෙත හිමි වූ අතර, සතිනි වීරසිංහ
සහ ආර්. ෆාතිමා පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනාගත්හ.
“මෙම වැඩසටහනේ තවත් ප්‍රධාන අරමුණක් වූයේ, වයස අවුරුදු 6 සිට 18 දක්වා දරුවන්ට, මෙම ගැටලුව
පිළිබඳ තමන් දරන අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීමයි. රට පුරා දරු දැරියන් විශාල පිරිසක් මේ
කථික තරගයට හා චිත්‍ර තරගයට සහභාගී වීමට අයදුම්පත් යොමුකළා. මේ සම්බන්ධයෙන් ඔවුන් මෙතරම්
උනන්දුවක් දැක්වීම අපට විශාල සතුටක්. තරගකරුවන්ට මගේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතරම, ශ්‍රී
ලංකාවේ අනාගත පරපුරට මහඟු ආදර්ශයක් ලබාදීමට ඉදිරිපත් වීම වෙනුවෙන්, මෙම තරග වලට සහභාගී වූ
සියලුම දෙනාට මගේ ස්තූතිය පිරිනැමීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” වෛද්‍ය තුෂ් වික්‍රමනායක
මහත්මිය වැඩිදුරටත් කියා සිටියා ය.
දරුවන්ගේ ආරක්ෂාව යනු සමාජයීය වගකීමකි. සාමූහික උත්සාහයන් ඔස්සේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම
සහ ඔවුන් නැවත නැවතත් ගොදුරු බවට පත්වීමේ ඉඩකඩ අවම කිරීම සඳහා අවශ්‍ය චර්යාධර්ම මාලාවක්
සම්පාදනය කිරීම ළමා හිංසනයට තිත පදනමේ ඉලක්කය වී ඇත. මෙම මෙහෙවර සමග අත්වැල් බැඳගැනීමට

කැමති පුද්ගලයන්ට www.stopchildcruelty.com වෙබ් අඩවියට හෝ
www.facebook.com/stopchildcruelty ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් සහ info@stopchildcruelty.com
ඊමේල් ලිපිනය ඔස්සේ විමසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

ඉලක්කමක්පමණයි ළමා ආරක්ෂණ මාසයේ සමාප්ති උත්සවයේ ප්‍රධාන දේශකයන් සහ විශේෂ අමුත්තන් සමඟ තරඟයේ ජයග්‍රාහකයින් 
ප්‍රධාන ආරාධිත අමුත්තා, ‘ළමා හිංසනයට තිත පදනම’ හි සභාපති සහ #ඉලක්කමක්පමණයි ළමා ආරක්ෂණ මාසයේ සමාප්ති උත්සවයේ ප්‍රධාන දේශකයන් සාකච්ඡාවක යෙදී ඇති අයුරු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *