දකුණු අප්‍රිකානු ජන රජයේ 29 වන ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ පස්වරුවේ (2023.04.27) සංවිධානය කළ ජාතික නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගි විය.
එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
පසුගිය මාසයේ ගරු විදේශ කටයුතු අමාත්‍යතුමාත් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් මාත් දකුණු අප්‍රිකාවේ නිල සංචාරයක නිරත වුණා. එහිදී ශ්‍රී ලංකාවේ සත්‍ය සෙවීමේ කොමිෂම ස්ථාපිත කිරීම සදහා දකුණු අප්‍රිකානු ජනතාවගේ අත් දැකීම් ලබා ගැනීමට අවශ්‍ය සාකච්ඡා සිදු කළා. මෙරට ජනතාව අතර සාමය සංහිදියාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් පිහිටුවනු ලබන සත්‍ය සෙවීමේ කොමිෂම ස්ථාපිත කිරීම සදහා දකුණු අප්‍රිකානු සංචාරයෙන් ලබා ගත් අත් දැකීම් ඉතා වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාව අතර සංහිදියාව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියේදී දකුණු අප්‍රිකාවේ විශිෂ්ටතම නායක නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ දර්ශනයෙන් ලබා ගත හැකි ආදර්ශයන් බොහෝමයක් පවතිනවා. දකුණු අප්‍රිකාව තුල සිදු කළ සංචාරයේ දී වත්මන් ජනාධිපති සිරිල් රමපෝසා මැතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් සමගත් අපි සාකච්ඡා කළා. එහිදී එරට ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා ලබා දුන් සහායට ස්තූතිවන්ත විය යුතුයි. අද දින 29 වන ජාතික නිදහස් දිනය සමරනු ලබන දකුණු අප්‍රිකානු ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු රජයේ සුභ පැතුම් පිරිනමනවා. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා 1994 වර්ෂයේ ආරම්භ වී තිබෙනවා. එතැන් සිට මේ දක්වා දෙරට අතර ඉතා විශිෂ්ට ලෙස රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක් පවත්වා ගෙන යනවා. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය තවදුරටත් වැඩි දියුණු කර ගනිමින් දෙරටෙහිම ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියටත් කැපවී ක්‍රියා කළ යුතු බව අධිකරණ අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.
කොළඹ හිල්ටන් හෝටලයේදී (27) පැවැති දකුණු අප්‍රිකානු ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් S.E.Schalk මහතා ඇතුළු මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී Julie Chung, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Gopale Bagle යන මහත්ම මහත්මීන් ඇතුළු තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් මෙම අවස්ථාවට එක් වුහ.
දකුණු අප්‍රිකාවේ පැවති සුදු කළු වර්ණභේදවාදය අවසන් කිරීමෙන් පසු සියලු ජාතීන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව 1996 අප්‍රේල් මස 27 ලැබී ඇති අතර, එම දිනයට ගෞරවයක් වශයෙන් දකුණු අප්‍රිකානු ජනතාව ජාතික නිදහස් දිනය ලෙස අප්‍රේල් මස 27 වන දින ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා 1994 වර්ෂයේ ආරම්භ වී ඇත.



