“සසුන් කෙත සරු කිරීමට දරණ ලද අපමණ මෙහෙවර” ඇගයීම් උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල ස්වාමීන් වහන්සේ ඇතුලු සංඝරත්නයේ වැඩමවීමෙන් ගැටඹේ රාජෝපවනාරාමයේදී (27) පැවැත්විය.
එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා සිදුකරන ලද ජාතික – ආගමික හා සමාජ මෙහෙවර හා රාමඤ්ඤ මහා නිකායේ 150වන සංවත්සර සැමරුම් උළෙල , අනුනායක පදවි ප්‍රාප්ත උත්සවය සංවිධානයෙහිලා සිදුකළ සුවිශේෂී කැපවීමද අගයකරමින් එම මහතා වෙත විශිෂ්ට සේවා උපහාර තිළිණයක් පිළිගැන්වීම සිදුවිය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලීය සම්මානිත මහාචාර්ය එච්. එම්. ඩී. ආර් හේරත් මහතා ද මෙදින ඇගයීමට පාත්‍ර වු අතර, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.