ටෝකියෝ නුවර පැවති 28 වැනි Nikkei Future of Asia සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිය තෙදින ජපාන සංචාරය නිම කළේ ය. ලාඕසයේ ජනාධිපති තොන්ග්ලුඔන් සිසුලිත් මැතිතුමා, ජපානයේ අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මැතිතුමා, සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් මැතිතුමා, වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ට්‍රාන් ලූ ක්වාන්ග් මැතිතුමා, තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මැතිතුමා සහ මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මැතිතුමා ඇතුළු ඉහළ පෙළේ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් Nikkei සංස්ථාව විසින් මෙම සුවිශේෂී සංසදය සංවිධානය කරන ලදී.
ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා මෙම සංචාරය අතරතුර ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මැතිතුමා සහ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ අමාත්‍ය ටාරෝ කෝනෝ මැතිතුමා සමඟ ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය. මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික දේශපාලන සහ ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වන ලදී. මෑතක දී ක්‍රියාත්මක කළ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ශ්‍රී ලංකාවට ලබාදුන් නොමද සහය ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්විය. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ස්ථාවර ප්‍රගතිය පිළිබඳව ජපානයේ සම්භාවනීය අමුත්තන් දැනුම්වත් කළ ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා, මෙරට වත්මන් අභියෝග ජය ගැනීම සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය සහ හිතෛශීභාවය පළ කරන ලෙස ඉල්ලා සිටියේ ය.
ප්‍රධාන වැඩසටහනට සමගාමීව, ජනාධිපතිවරයා වියට්නාමයේ සහ සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් මෙන්ම ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරුන් තිදෙනෙකු වන යසුඕ ෆුකුඩා, ටරෝ අසෝ සහ යොෂිහිඩේ සුගා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය.
ජනාධිපතිවරයා මෙහිදී අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කරන අතරතුර දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කිරීමේ කර්තව්‍යයේ නිරතව සිටින ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව ලීගයේ නිලධාරීන් ද හමුවිය.
ජපාන විදේශ වෙළඳ සංවිධානය (JETRO) සහ ජපාන-ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලය (JSLBCC) සමඟ එක්ව ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම සංචාරය අතරතුර සංවිධානය කළ විශේෂ ව්‍යාපාරික සංසදයට සහභාගී වූ ජනාධිපතිවරයාට ජපානයේ ව්‍යාපාරික ප්‍රජාව හමු වීමේ අවස්ථාව උදාවිය. ශ්‍රී ලංකාව සහ ජපානය අතර වෙළඳාම සහ ආයෝජන අවස්ථා ඉහළ නැංවීමේ ක්‍රම හඳුනාගැනීම සඳහා ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ ද ජනාධිපතිවරයා විසින් වැඩිදුර සාකච්ඡා පවත්වන ලදී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ටෝකියෝ නුවර රැඳී සිටිය දී මාධ්‍ය අන්තර්ක්‍රියා කිහිපයක් ද පැවැත් වූ අතර එයට Nikkei සහ Japan Broadcasting Corporation, NHK සමඟ පැවැත්වූ මාධ්‍ය සම්මුඛ සාකච්ඡා ඊට ඇතුළත් විය.
දිවංගත ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමා ශ්‍රී ලංකාව වෙත පළ කළ මිත්‍රත්වය සහ සහයෝගිතාවය පිළිබඳව ශ්‍රී ලාංකිකයන්ගේ කෘතඥතාව පළ කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර අබේ මැතිතුමාගේ භාර්යාව වන අකී අබේ මැතිනිය ද හමුවිය.