HNB ලෝක සකසුරුවම් දිනයට සමගාමීව පරිසරය සුරැකීමේ හරිත ප‍්‍රතිඥාවක් ලබා දෙයි

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන HNB ලෝක සකසුරුවම් දිනයට සමගාමීව සිය කාර්ය මණ්ඩලයේ සියලූ සාමාජිකයින් විසින් පරිසරය සුරැකීම සඳහා වූ සුවිසල් කැපවීම වෙනුවෙන් හරිත ප‍්‍රතිඥාවක් ලබා දුන්නේය.

2009 වසරේදී HNB විසින් පරිසරය සුරැකීම වෙනුවෙන් ලබා දුන් පොරොන්දුව 2023 වසරේදී සම්පූර්ණ කරනු ලැබුවේ සම්පූර්ණ ඩිජිටල්කරණ සේවාවක් සලසා දෙමිනි. කාර්යමණ්ඩලය තුළින් මෙන්ම QR කේතය හරහා download කිරීම තුළින් එය සම්පූර්ණයෙන්ම කඩදාසි භාවිතයෙන් තොර සේවාවක් බව තහවුරු කිරීමට HNB සමත්ව ඇත.

ලෝක සකසුරුවම් දිනයේදී ඉතුරුම් පිළිබඳ අදහස තවදුරටත් ඉදිරියට ගෙන යමින් පරිසරය සුරැකීම පිළිබිඹු කිරීම වෙනුවෙන් ප‍්‍රධාන කාර්යාලයේ සියලූ කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් තිරසාර භාවිතයන් සඳහා කැපවන බවට ප‍්‍රතිඥා දෙන ලදී. කඩදාසි භාවිතය අවම කිරීම, බලශක්ති පරිභෝජනය අවම කිරීම, පරිසර හිතකාමී ප‍්‍රවාහන ක‍්‍රම දිරිමත් කිරීම සහ පාරිසරික යහපැවැත්මට ප‍්‍රමුඛත්වය දෙන සහ දායක වන ආයතනික සංස්කෘතියක් ප‍්‍රවර්ධනය කිරීමයි සඳහා ඔවුන් කැපවී සිටී. මෙම පොරොන්දුව හරහා කාර්ය මණ්ඩලය පෘථිවියේ පැවැත්මට ධනාත්මක දායකත්වයක් ලබා දෙමින් ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතුවලදී පාරිසරික තිරසාරභාවය ගැන සැලකිලිමත් වන තීරණ තෝරා ගැනීමට ඔවුන් කැපවී සිටී.

සිය කාර්ය මණ්ඩලය විසින් ලබා දුන් මෙම සුවිශේෂී ප‍්‍රතිඥාව පිළිබඳව සතුට පළ කළ HNB හි කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ‘‘හුදු පොරොන්දුවකට එහා ගිය අපගේ හරිත ප‍්‍රතිඥාව අපගේ පරිසරය සඳහා වන ප‍්‍රමිතීන් අභිබවා යාම සඳහා වන HNB හි කැපවීම මනාව පිළිබිඹු කරනවා. ගෝලීය උණුසුම කෙමෙන් ඉහළ යන විට අප අනාගත පරම්පරාවෙන් ණයට ගත් කාලයෙන් ජීවත් වන බව වඩාත් පැහැදිලියි. අප ගෙන ඇති ක‍්‍රියාමාර්ග සමස්ත තිරසාරත්වය කරා යන ගමනේ එක් පියවරක් පමණක් බව මෙහිදී මතක් කළ යුතුයි.’’ යනුවෙන් සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අලස් මහතා සඳහන් කර සිටියේ ‘‘මෙම ගමනට බෙහෙවින් උපකාරී වන අපගේ සේවක මණ්ඩලයේ හරිත ප‍්‍රතිඥාව තුළින් තිරසාර භාවිතයන් පමණක් නොව ආකල්පමය වෙනසක් සඳහා වන අපගේ කැපවීමද සංකේතවත් කරනවා. මෙම ප‍්‍රතිඥාව අපගේ සේවකයින්ගේ රැකියාවේ සිට ජීවිතයේ සෑම අවස්ථාවක් වෙතම ගෙන යාමටත්, තිරසාරත්වය ඔවුන්ගේ පරිපූර්ණ ජීවන රටාව බවට පත් කිරීමටත් දිරි ගන්වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.’’ යනුවෙනි.

සියලූ දෙනාට වඩාත් තිරසාර අනාගතයක් උදාකර දීම වෙනුවෙන් වන HNB හි විශිෂ්ට ගමනේ තවත් පියවරක් ලෙස මෙම ප‍්‍රතිඥාව පෙන්වා දිය හැකිය. මේ අතර 2023 සැප්තැම්බර් 30 දිනට බැංකුවේ සමස්ත තිරසාරභාවය සහ සමාජීය වගකීම් සහිත ව්‍යාපෘති සඳහා කැප වූ සේවා කළඹ බිලියන 49.5ක් ලෙස වාර්තා විය. එසේම HNB මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදල (SLCF) වෙතින් නිල වශයෙන් කාබන් ශුන්‍යතා සහතිකයෙන් ද පිදු ලබා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි තිරසාර සහ ආයතනික සන්නිවේදනය පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවේ ‘‘සේවක ප‍්‍රජාව විසින් දැනටමත් ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නංවා ඇති තිරසාර වැඩසටහන් මෙම ප‍්‍රතිඥාව තුළින් නැවත අවධාරණය කර තිබෙනවා. හරිතවත් අනාගතයක් කරා යන අපගේ ගමන ඒ අයුරින්ම ක‍්‍රියාත්මක කරන ශ‍්‍රම බලකායක් අප සතුවීම අප ලද වරප‍්‍රසාදයක් ලෙස සඳහන් කළ හැකියි. තිරසාරත්වය ප‍්‍රවර්ධනය කිරීමෙහිලා අපගේ සේවකයින්ගේ සහ ආයතනයේ ඒකාබද්ධ ප‍්‍රයත්නයන් දේශගුණයට හිතකර පරිසරයකට ප‍්‍රමුඛත්වය දෙන අනාගතයක් පිළිබඳ විශ්වාසය ඇති කරනවා.’’ යනුවෙනි.

ශාඛා, කලාප සහ ප‍්‍රධාන කාර්යාල මට්ටමෙන් ව්‍යාපෘතිවල නියැලී සිටින HNB සේවක ප‍්‍රජාව COVID සහනාධාර, පාරිසරික ව්‍යාපෘති, ගෙවතු වගා, රුක් රෝපණ හා ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහන් වැනි සුබසාධන වැඩසටහන් වෙනුවෙන් සිය වැටුපෙන් කොටසක් ලබා දීමට ද කටයුතු කර ඇත. බැංකුවේ සරු ගෙවත්ත වැඩසටහන මඟින් ගෙවතු වගාව දිරිමත් කරන අතර, සීමිත ඉඩ ප‍්‍රමාණයක පැල වගා කිරීම සඳහා බැංකුවේ ඇතැම් ශාඛාවල කැපවීමේ උත්සාහය ඉස්මතු කරයි.

HNB සාමාජිකයින් “Walk the Talk” වැඩසටහන හරහා පරිසර හිතකාමී ප‍්‍රවාහන ක‍්‍රම දිරිගැන්වීමේ වැඩසටහන සඳහා ද එක් වී ඇත. කොවිඞ්-19 වසංගතයෙන් පසු ආරම්භ කරන ලද මෙම වැඩසටහන සඳහා කාර්ය මණ්ඩලයට අමතරව පාපැදිකරුවන් 101ක් සහ පාගමන් යන පුද්ගලයින් 238ක් ලියාපදංචි කරමින් පරිසර හිතකාමී ප‍්‍රවාහන ක‍්‍රම ප‍්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස carpool ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *