සේවා අර්බුද නිරාකරණ යාන්ත්‍රණය රාජ්‍ය සේවයට හඳුන්වා දීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ( ILO ) සහාය…

සේවා අයිතිවාසිකම් පිළිබඳ අර්බුද නිරාකරණය සහ වැලැක්වීමේ යාන්ත්‍රණයක් රාජ්‍ය සේවයට හඳුන්වා දීමේ රජයේ ක්‍රියාවලිය සඳහා සහාය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් (ILO) ඉල්ලා සිටියේය
අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ( ILO) නේවාසික අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් ( Joni Simpson) මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රි ෆ්‍රාන්ච් (Marc-André Franche) මහතා අද (2024.02.01) අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීය.
මේ සම්බන්ධයෙන් ගත් මූලික පියවර සහ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් ද නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කළහ. යෝජිත යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට ඔවුන් අග්‍රාමාත්‍යවරයාට සහතික වූ අතර, එමඟින් අර්බුද නිරාකරණයට පමණක් නොව, ත්‍රෛපාර්ශ්වික සංවාද පද්ධතියක් හරහා අනාගතයේදී ගැටුම් වළක්වා ගැනීමට ද හැකි වනු ඇත. කොවිඩ් වසංගතයත් සමග ඇති වූ ආර්ථික අර්බුදය ශ්‍රම බලකායට ඇති කරන බලපෑම සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට කම්කරුවන්ට, විශේෂයෙන් අඩු ආදායම්ලාභී ශ්‍රම බලකායට උපකාර කිරීමට රජය ගෙන ඇති කෙටිකාලීන හා දිගුකාලීන පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිත පිරිස දැනුවත් කළේය.
ශ්‍රම බලකාය ඉහළ තලයකට ගෙන යෑමට රජය දැඩි උනන්දුවක් දක්වන බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා නිපුණතා සංවර්ධනය සඳහා දියත් කර ඇති පුහුණු වැඩසටහන් රාශියක් පිළිබඳව පැහැදිලි කළේය. රැකියා වල ගුණාත්මක භාවය සහ ප්‍රමාණය වැඩි කිරීම මිනිසුන් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමේ ස්ථිරම ක්‍රමය බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව ශ්‍රම බලකායට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ( ILO) රෙගුලාසි ඇතුළත් කර ඇති අතර නිදහස, සමානාත්මතාවය, ආරක්ෂාව සහ මානව ගරුත්වය යන කොන්දේසි යටතේ පිරිමින්ට සහ කාන්තාවන්ට ඵලදායී වැඩ ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
ශ්‍රම බලකායේ යහපැවැත්ම සහ ශ්‍රම බලකායේ කුසලතා නංවාලීම සඳහා රජය විසින් ගනු ලබන සියලුම ප්‍රයත්නයන් සඳහා ILO නියෝජිත පිරිස පූර්ණ සහයෝගය ලබා දෙන බවට මෙහිදී සහතික විය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාද මෙම අවස්ථාවට එක්විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *