අධ්‍යාපනය පුද්ගලයන්ගේ ජීවිතවලට සහ ජාතීන්ගේ ඉරණමට ඇති කරන ප්‍රබල බලපෑම කිසිදා අමතක නොකළ යුතුයි…

  • අධ්‍යාපනය පුද්ගලයන්ගේ ජීවිතවලට සහ ජාතීන්ගේ ඉරණමට ඇති කරන ප්‍රබල බලපෑම කිසිදා අමතක නොකළ යුතුයි…
  • අධ්‍යාපනයේ විශිෂ්ටත්වය තුළින් අපගේ සමාජයේ සහ අනාගත පරම්පරාවේ අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවෙමු…
    -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
    මැද පෙරදිග සහ බටහිර ආසියානු කලාපයේ ජාත්‍යන්තර පාසල්වල සාමාජික විදුහල්පතිවරුන්ගේ සහෝදය (CBSE Gulf Sahodaya) අද ( 7) කොළඹ දී පැවැත්විණි.
    එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –
    සේවය වෙනුවෙන් කැපවූ පාසල් විදුහල්පතිවරුන්ගේ මෙම සංවිධානය පසුගිය දශක තුනක කාලය තුළ අපගේ සමාජයේ වගකීම භාරදිය හැකි තරුණ පෙළට අනාගත අපේක්ෂාවන්ට ලඟා වීමට හැකි වන පරිදි අධ්‍යාපනයෙහි ගුණාත්මක බව පෝෂණය කිරීමෙහිලා විශිෂ්ට ප්‍රගතියක් ලබා දී තිබෙනවා.
    ඕනෑම සමාජයක ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා මූලික පදනම වන්නේ අධ්‍යාපනයයි. හෙට දවසේ නායකයින් සහ නවෝත්පාදකයින් පෝෂණය වන්නේත් හැඩගැස්වන්නේත් අපේ පාසල් හරහා යි. ඔබ අපගේ සිසුන්ගේ දැනුම, ප්‍රබුද්ධත්වය සහ බල ගැන්වීම සඳහා යොමු කරන මෙම පරිවර්තනීය ක්‍රියාවලියේ නිර්මාණ කරුවන්.
    ගල්ෆ් කලාපය, අප්‍රිකාව සහ ආසියාව ඇතුළු බොහෝ රටවල අධ්‍යාපනය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව ලබා දුන් දායකත්වය පිළිබඳව අපි සැබවින්ම ආඩම්බර වෙනවා. මා හමුවන එම රටවල බොහෝ නායකයන් සහ නියෝජිතයන් එම රටවල ශ්‍රී ලාංකීය ගුරුවරුන්ගේ සේවය බෙහෙවින් අගය කරනවා. පෙර නොවූ විරූ අභියෝග හමුවේ,ඔබ නොසැලී එම තත්වයට අනුවර්තනය වීමේ හැකියාව පෙන්නුම් කර තිබෙනවා. කොවිඩ් -19 වසංගතය අපගේ අධ්‍යාපන ක්‍රමවලට අභියෝගයක් වූ අවස්ථාවේදී ඔබ තම දක්ෂතාවයෙන් සහ අධිෂ්ඨානයෙන් නව ක්‍රමවේද තුළින් එයට මුහුණ දීමට සමත් වුණා. සාමාන්‍ය පන්ති කාමරවල සිට දුරස්ථ ඉගෙනුම් ආකෘති දක්වා, ඔබ අධ්‍යාපනයේ නවෝත්පාදනයන් වෙත ලඟා වී තිබෙනවා.

නායකයෙකු ලෙස, පසුබිම හෝ තත්වයන් නොසලකා පිපෙන්නට වෙර දරන සෑම මල් කැකුලකටම විකසිත වීමට අවස්ථාව ලබා දෙන සමාජයක් ගැන අප සිහින දකිනවා. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීමේ මූලික අයිතිය ලබා දී ලෝකයේ අභියෝගවලට මුහුණ දීමට හැකි වන ලෙස ඔවුන් සන්නද්ධ කළ යුතුයි. රජය සහ අධ්‍යාපනඥයින් එක්ව, කිසිදු දරුවෙකු අත් නොහැර ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීමටත් ආයෝජනය සමව බෙදා හැරීමටත් පියවර ගත යුතුයි.
මෙම වගකීම පැවරෙන්නේ අධ්‍යාපනඥයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් මත පමණක්ම නොවේ. එය සාමූහික ප්‍රයත්නයක්. එයට සෑම තරාතිරමකම දෙමාපියන්, ප්‍රජාවන් සහ පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය අවශ්‍යයි. අධ්‍යාපනයේ මූලික අංග වලට අමතරව, චරිත වර්ධනයේ සහ සමස්ත සංවර්ධනයේ වැදගත්කම අවධාරණය කිරීම අවශ්‍යයි. අධ්‍යාපනයේ පුරෝගාමීන් ලෙස, දරුවන් තුළ අවංකභාවය, සංවේදනය සහ දරාගැනීමේ හැකියාව වැනි වටිනාකම් ඇති කිරීම අත්‍යවශ්‍යයි
මේ ඩිජිටල් යුගයේ, නිරන්තරයෙන් පරිණාමය වන ලෝකයක් සඳහා සිසුන් සූදානම් කිරීම අතිශයින් වැදගත්. තාක්‍ෂණය වැලඳ ගත්, අපේ තරුණ පරපුර අධ්‍යාපනික වශයෙන් පමණක් නොව තාක්‍ෂණික සාක්ෂරතාවයෙන් ද යුක්ත බව සහතික කළ යුතුයි. අධ්‍යාපනය පුද්ගලයන්ගේ ජීවිතවලට සහ ජාතීන්ගේ ඉරණමට ඇති කරන ප්‍රබල බලපෑම කිසිදා අමතක නොකළ යුතුයි. අපගේ ජාතියේ අනාගතය, රඳා පවතින්නේ උගතුන්ගේ ප්‍රඥාවෙන් සහ දයාවෙන් මෙහෙයවනු ලබන සිසු පරපුර මත බව දැන නොසැලෙන අධිෂ්ඨානයෙන් එම කාර්යයන් ඉදිරියට ගෙන යාමට කැප වෙමු.
අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සහ අපගේ සමාජයේ සහ අනාගත පරම්පරාවේ අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවෙමු.
ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ, ගල්ෆ් සහෝදය- ද්විතීය අධ්‍යාපන කේන්ද්‍රීය මණ්ඩලයෙහි සභාපති වී.ආර් පලනිස්වාමි, ප්‍රධාන ලේකම් ආචාර්ය වී. බිනුමෝ සහ ගල්ෆ් සහෝදය- ද්විතීය අධ්‍යාපන කේන්ද්‍රීය මණ්ඩලයෙහි (CBSE) අනෙකුත් නිලධාරී මණ්ඩලය, සියයකට අධික ජාත්‍යන්තර පාසැල් ප්‍රධානාචාර්යවරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *