බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන පරම පූජනීය උතුම් කාන්තා රත්නයක් වන මහා ප්‍රජාපතී ගෝතමියගේ ජීවන පුවත ඇසුරෙන්, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණයෙන් සහ තිලංග සුමතිපාල නිෂ්පාදනයෙන් දායක වන ‘ගෞතම බුද්ධ මාතා’ නවතම සිනමා පටයේ රූගත කිරීම් පසුගියදා සුබ මොහොතින් ඇරඹිණි.
“ගෞතම බුද්ධ මාතා යනු මේ සමයේ නිර්මාණය නොවන ආකාරයේ විශාල ආයෝජනයක් සහිත දැවැන්ත සිනමා නිර්මාණයක්. මහා ප්‍රජාපතී ගෝතමිය බෞද්ධ සාහිත්‍යයේ එන ප්‍රධාන චරිතයක් වුවත් එතුමිය පිළිබඳව තොරතුරු සුලබව සමාජගතවී නෑ. එතුමියගේ ශ්‍රේෂ්ඨ චරිතය පදනම්කරගෙන මෙබඳු වටිනා සිනමා නිර්මාණයක් කරන්නැයි තිලංග සුමතිපාල මහතා මට ආරාධනා කළත් ඒ සඳහා අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට මට විශාල වෙහෙසක් දැරීමට සිදු වුණා. ඒ සඳහා පොත් පත් සහ ඓතිහාසික මූලාශ්‍ර රාශියක් පරිශීලනය කිරීමට මට සිදු වුණා. එය ඉතාම අසීරු කාර්යයක් වුවත් මම එය ඉතා සාර්ථකව සිදු කළා. මෙතෙක් කිසිදු අයුරකින් හමු නොවූ මහා ප්‍රජාපතී ගෝතමියගේ ජීවන චරිතය මේ චිත්‍රපටය හරහා ලෝකවාසී බෞද්ධ ජනතාවට හඳුනාගන්නට සහ දැකගන්නට ලැබෙනවා. ඉන්දීය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟින් ප්‍රවීණ දේශීය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් ද මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා.” සිනමාපටය පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය සුනිල් ආරියරත්න මෙලෙස සඳහන් කළේය.
“මාගේ මව දිවංගත මිලිනා සුමතිපාල මහත්මිය සිංහල සිනමාවට සම්මානනීය චිත්‍රපට ගොන්නක් තිළිණ කළා. ගඟ අද්දර, දුවට මවක මිස, උප්පලවණ්ණා සහ පත්තිනි ඒ අතරින් ප්‍රධානයි. බුදුන් වහන්සේගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමිය නම්වූ ශ්‍රේෂ්ඨ කාන්තා චරිතය ඇසුරෙන් ද චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ ආසාවක් සහ බලාපොරොත්තුවක් මගේ මව තුළ තිබුණා. ඇගේ එම බලාපොරොත්තුව ඉටුකිරීමේ අරමුණ ද ඇතිවයි මා එම බුද්ධ මාතාවගේ කතා පුවත සිනමාවට නගන්නට තීරණය කළා. මේ වසරේ අවසානය වන විට ගෞතම බුද්ධ මාතා චිත්‍රපටය ප්‍රේක්ෂක ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව උදා වේවි.” චිත්‍රපටයේ නිෂ්පාදක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන්, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන්, විමල් දේශප්‍රිය සහය අධ්‍යක්ෂණයෙන්, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන්, ප්‍රියන්ත දිසානායක වෙස් ගැන්වීමෙන් සහ නිමල් විජේසිරි සේනාධීර නිෂ්පාදන කළමනාකරණයෙන් මේ සිනමා පටය සඳහා දායකවී සිටිති.