හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා බව කියන අයකු ඇතුළු තරුණයන් 08 දෙනා අධිකරණය වෙත යළි ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කළේය.
දූෂණය කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා හතරක් යටතේ හංවැල්ල පොලිසිය මඟින් අදාළ සැකකරුවන්ට චෝදනා ගොනු කර තිබුණි.
අතවරයට පත් දැරිය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් ඊයේ (24) දින පැවැත්වීමට නියමිතව තිබූ හඳුනාගැනීමේ පෙරෙට්ටුව කල් තබා ලබන නඩු දිනයේ දී පළමු සහ තුන්වැනි සැකකරුවන් දෙදෙනා හැර අනෙක් සැකකරුවන් හය දෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද මෙහි දී නියෝග කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.පී.එස් ජයමහ මහතාගේ මඟපෙන්වීම යටතේ, නුගේගොඩ කොට්ඨාස අංක 6 භාර සහකාර පොලිස් අධිකාරී අජිත් ගුණවර්ධන මහතාගේ නියෝග හා හංවැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික මහතාගේ මෙහෙයවීමෙන් පො.කො (85932) සමරවීර (97650) සුමනසිරි (103494) දිල්ෂාන් (104596) ඕෂිත කා.පො.කො (13342) අත්තනායක ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.