බුදුන්ගේ මැදුම් පිළිවෙතේ පණිවිඩය යුරෝපයට ඉතා ආකර්ෂණීය වෙයි

-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

“බුදුන් වහන්සේ පෙන්වා දුන් මැදුම් පිළිවෙතේ මාවත යුරෝපීයයන්ට සහ අනෙකුත් බටහිර ජාතීන්ට ඉතා ආකර්ෂණීය වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය.

උගත් යුරෝපීයයෝ ද සියුම් පරීක්ෂාව සඳහා වන බුදුන් වහන්සේගේ විවෘත භාවය සහ බුදුදහමේ එන ‘ඔබ ම පැමිණ බලන්න’ යන ආකල්පය බෙහෙවින් අගය කරති. ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිවක් විශ්වාස කරන ලෙස නො ව, පළමු ව අදහස් විශ්ලේෂණය කර බැලීම පිළිබඳ බුදුන්ගේ උපදෙස් අනුගමනය කරන ලෙස යි.”
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (2024 අගෝස්තු 03) කොළඹ අරලියගහ මන්දිරයේ පැවති ජර්මනියේ බර්ලින් බෞද්ධ විහාරයේ ශත සංවත්සර උළෙල අමතමිනි.

යුරෝපයේ බුදුදහම ප්‍රචලිත කිරීම සඳහා බර්ලින් බෞද්ධ විහාරයේ ක්‍රියාකාරකම් සඳහා පූර්ණ සහාය ලබා දෙන බවට සහතික වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ “නැගෙනහිර හා බටහිර ස්වභාවික මධ්‍යස්ථානයක් වූ, පාලි සංස්කෘත උගතුන් සිටින, ශ්‍රී ලංකාව මහඟු දේශයක් විය. නමුත් සැබෑ වටිනාකම වූයේ ශ්‍රී ලංකාවේ ථෙරවාදී ප්‍රතිපදාව යි. ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රමුඛතම යුතුකම සහ වගකීම ලෙස සලකන්නේ බුද්ධ ශාසනය පෝෂණය කිරීම යි” යනුවෙනි.

ජර්මානු ධම්මදූත සංගමයේ ලේකම් සේනක වීරරත්න මහතා සිහිපත් කළේ බර්ලින් විහාරය ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ සුප්‍රසිද්ධ බෞද්ධ පඬිවරයකු වන ආචාර්ය පෝල් ඩාල්කේ විසින් 1919 දී බර්ලින් තදාසන්න ප්‍රදේශයක් වන ෆ්‍රෝනාවුහි අක්කර 11 ක ඉඩමක් ලබාගෙන ‘Das BuddhistischeHaus’ ඉදි කිරීම ආරම්භ කළ අතර 1924 දී එය නිම කරන ලද බව යි.

ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් පැවසුවේ බර්ලින් විහාරය ජර්මානු සමාජයේ බහු සංස්කෘතික, බහු ආගමික බව පිළිගැනීමේ ශක්තිය පිළිබඳ විශිෂ්ට සාක්ෂියක් බව යි. ජර්මානු සමාජය බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල ඇති මෛත්‍රිය සහ කරුණාව වර්ධනය කිරීමේ ප්‍රතිපත්තියට කැපවී සිටින බව ඔහු පැවසී ය.

මෙම උත්සවයේ දී “100 Years of Das BuddhisticheHaus in Berlin” නම් කෘතිය එළිදැක්විණි.

මෙම අවස්ථාවේ දී තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශේෂ මුද්දරයක් සහ මුල් දින කවරයක් ද නිකුත් කරනු ලැබීය.

මීතිරිගල නිස්සරණ වනයේ පූජ්‍ය පානදුරේ චන්දරතන හිමි, පූජ්‍ය ඕලන්දේ ආනන්ද හිමි හා ජර්මන් ධර්මදූත සංගමයේ සභාපති සර්දා අබේරත්න ද මෙහිදී අදහස් දැක්වූ හ.

මහා සංඝරත්නය, කථානායක මහින්ද යාපා අබේවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, සුරේන් රාඝවන්, ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, ඒ.එච්.එම්. ෆවුසි, හා යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය තාන්ත්‍රිකයන්, බෞද්ධ ජාතික සංවිධාන නියෝජිතයින්, විද්වතුන්, ගුරුවරුන් සහ සිසුන් ද මෙම අවස්ථාවට සහභාගි වූ හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *