ශ්‍රී ලංකා සකල කලා සංසදය සංවිධානය කරන ජය ශ්‍රී මා බෝ, ස්වර්ණමාලි සෑ පෝය හේවිසි පූජා මංගල්‍යය 2024 අගෝස්තු 19 නිකිණිපුන් පොහෝ දින

අපගේ උතුම් මව්බිමටත් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවටත් සෙත් පතා දශක ගණනාවකට පසුව සිදු කෙරෙන සර්ව රාත්‍රික සාම්ප්‍රදායික අති උතුම් පෝය හේවිසි පංචතූර්ය හේරි වාදන පූජා මංගල්ලයක් පරිත්‍රාණ දේශනාවක් සහිතව ඓතිහාසික අනුරාධපුර මහමෙව්නා පුදබිමේ සහ ජය ශ්‍රී මහා බෝ සමිඳු හා ස්වර්ණමාලි මහා සෑ රජුන් ප්‍රමුඛ අටමස්ථානයේ දී සිදු කිරීමට සියලු කටයුතු මේ වන විට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සකල කලා සංසදයේ සභාපතිනි ශ්‍රියානි දිසානායක මහත්මිය පවසයි.

බුද්ධ ධම්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නයට පූජෝපහාර උදෙසා පැවැත්වෙන මෙම පොහොය හේවිසි ම ශබ්ද පූජා පින්කම උඩරට පහතරට හා සබරගමු යන ත්‍රිවිධ සම්ප්‍රදායන්ට අයත් හේරි ශිල්පින් සියයකගේ සහභාගිත්වයෙන් යුතුව පැවැත්වෙන අතර ශ්‍රී ලාංකේය හෙළ කලා කෙතෙහි සාම්ප්‍රදායික උරුමෙහි අභිමානවත් බව හා ඉපැරණි හේරි වාදන කලාවේ චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම පූජනීයත්වය වත්මන් පරපුරට දැකගැනීමට සැලැස්වීමත් එකී ශිල්ප සංරක්ෂිත කොට මතු පරපුරට හා ලෝකයට දයද කිරීම හි ප්‍රධාන අරමුණ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ලක් ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්ව විද්‍යාලීය විද්වතුන්ගේ හා පරේෂකයින් විසින් පෝය හේවිසි සම්බන්ධයෙන් රචනා කරන ලද ලිපි ඇතුළත් පෝය හේවිසි නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය සිංහල හා ඉංග්‍රීසි බසින් එදිනට ජනගත කිරීම සූදානම් කර ඇති බව ප්‍රකාශ කරන ලදි.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා සකල කලා සංසදයේ සභාපතිනි ශ්‍රියානි දිසානායක සමග සම්මානිත මහාචාර්යය ආචාර්ය ලයනල් බෙන්තරගේ, මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර, මහාචාර්ය කමල් වලේබොඩ, මහාචාර්ය ගයානි දීපිකා මද්දුමගේ, ජයන්ත ජයමාන්න සහ ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ යන මහත්ම මහත්මීන් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *