සංවර්ධනය සඳහා ස්ථාවරත්වය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය නෙදර්ලන්ත තානාපතිවරිය අවධාරණය කරයි…

යටිතල පහසුකම් සංවර්ධනයට සහ කෘෂිකර්මාන්තයට දක්වන සහයෝගයට අමතරව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමට සහ තිරසාරව පවත්වාගෙන යාමට නෙදර්ලන්තය ලබාදෙන අඛණ්ඩ සහය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නෙදර්ලන්තයට ස්තුතිය පළ කරයි. නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බෝච් (Bonnie Horbach) මහත්මිය අද (2024.09.09) කොළඹ, අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජල කළමනාකරණය පිළිබඳ අපමණ පළපුරුද්දක් ඇති රටක සිට පැමිණි තැනැත්තියක ලෙස දිගු ඇළ මාර්ග සහ වැව් ඇතුළත් ශ්‍රී ලංකාවේ ඉපැරණි වාරි පද්ධති පිළිබඳව මවිතයට පත් වූ බව තානාපතිවරිය මෙහිදී පැවසුවාය. “ලන්දේසි ජාතිකයන් ජල කළමනාකරණය පිළිබඳ විශේෂඥයන්, නමුත් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ජල කළමනාකරණ පද්ධතියට ලන්දේසි ජාතිකයන්ගේ තාක්ෂනයට වඩා අගනා දීර්ඝ ඉතිහාසයක් පවතිනවා.” මෙහිදී අදහස් දක්වමින් තානාපතිවරිය සඳහන් කළාය.
ලන්දේසි පාලන සමයේදී රැගෙන ගිය වටිනා කෞතුක වස්තු ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු සැලසීම පිළිබඳවත්, කොළඹ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිත තත්වයන් යටතේ ඒවා ප්‍රදර්ශනය කර සංරක්ෂණය කිරීම සඳහා ලබාදුන් සහය පිළිබඳවත් අග්‍රාමාත්‍යවරයා තානාපතිවරියට ස්තුතිය පුද කළේය.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා සිසුන්ට පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා නෙදර්ලන්තය ශිෂ්‍යත්ව ලබා දුන් බව තානාපති හෝර්බච් පැවසීය. පෞරාණික අත්පිටපත් සංරක්ෂණය කිරීම සඳහා නෙදර්ලන්තය ශ්‍රී ලංකාවේ ලේඛනාගාර දෙපාර්තමේන්තුවට ද සහාය වේ.
පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රගතිය සහ උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ගත් උත්සාහය ඇය අගය කළාය. “සියල්ලන්ම සංවර්ධනයේ සමාන හවුල්කරුවන් බව සහතික කිරීමට ගන්නා උත්සාහයන් හොඳ ප්‍රගතියක් අත් කරගන්නා අතර ස්ථාවර රජයක් යටතේ මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවනු ඇතැයි අපි දැඩි ලෙස බලාපොරොත්තු වෙමු,” ඇය පැවසුවාය.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *