ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය දිවි සැරිය නිම කරයි.

ශ්‍රී ලාංකේය නර්තන කලාව පෝෂණය කිරීමේහිලා සුවිශාල සේවයක් ඉටු කළ පද්ම ශ්‍රී, කලාශූරී ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය ඊයේ (23) අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට 92 හැවිරිදි වියේ පසු වූ ඇය නර්තන ශිල්පිනියක මෙන්ම ගුරුවරියකද වූවාය.

වජිරා චිත්‍රසේන මහත්මිය මෙරට මුද්‍රා නාට්‍ය කලාවේ පියා ලෙස සැලකෙන අභාවප්‍රාප්ත චිත්‍රසේනයන්ගේ බිරිය වන අතර ඔහුට සෙවණැල්ල වෙමින් ඔහුගේ නිර්මාණවලට දායකත්වය දැක්වූවාය.

කරදිය, නල දමයන්ති, කිංකිනි කෝලම වැනි මුද්‍රා නාට්‍ය ගණනාවකට දායකත්වය දැක්වූ ඇය මෙරට ළමා මුද්‍රා නාට්‍යවල නිර්මාතෘවරිය ලෙස සැලකිය හැකිය. මුද්‍රා නාට්‍යවල ප්‍රදාන චරිත රඟපෑ චිත්‍රසේන මහත්මිය කරදිය මුද්‍රා නාට්‍යයේ සිසීගේ චරිතය රඟපෑවාය.

නර්තනය මතු පරපුරට දායාද කිරීමට කටයුතු කරන දියණියන් දෙදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ මවක වූ චිත්‍රසේන මහත්මිය සාම්ප්‍රදායිකව පිරිමින් පමණක් ඉදිරිපත් කළ උඩරට නර්තනය ප්‍රගුණ කර වෙස් බඳින ලද පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන්නීය. කාන්තා උඩරට නැටුම් විලාසය සඳහා සන්නාමයක් නිර්මාණය කිරීම සහ කාන්තාවන් චාරිත්‍රානුකූල නර්තන ශිල්පීන් බවට පත් කිරීමේ ගෞරවය වජිරා චිත්‍රසේනට හිමිවේ.

2020 ජනවාරි 26 වැනි දින, ඇය දිවංගත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක සමඟින් ඉන්දියාවේ ඉහළම ඉන්දීය සිවිල් සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ඇයගේ දේහය අද (10) පෙරවරුවේ සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත්කර ඇති අතර ආදාහන උත්සවය බොරැල්ල කනත්තේදී මෙම බදාදා දින පෙවරවරු 11.30ට සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *