2024 වර්ෂයේ ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමියගේ පණිවිඩය.

ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය දරුවන් රැකගමු – සමසේ සලකමු යන තේමාව යටතේ මෙවර ද උත්කර්ශවත් ලෙස සැමරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු කටයුතු සූදානම් කර ඇත. රටේ ජීවනාලිය බඳු ළමයින් ආරක්ෂා කරගැනිම ඔබ අප සැමගේ යුතුකම මෙන්ම වගකිම ද වේ. මේ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වන විටත් විවිධ පියවර රාශියක් ගෙන ඇත. සියලුම ආකාරයේ ළමා අපයෝජන (කායික,ලිංගික,මානසික,හා නොසලකාහැරීම) වලින් රටේ සියලුම ළමයින් ආරක්ෂා කිරිමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරන්තරයෙන් ඇප කැප වී සිටින බව මා පවසන්නේ ඉතාමත් සතුටිනි.

රටේ වර්තමානයේ උද්ගතවී ඇති ආර්ථීක සහ සමාජයීය තත්වයන් හමුවේ ළමයින් පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරික්ෂණය කර ඇත. ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම පාර්ශවකරුවන් ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව සංවේදී වෙමින් ළමයාගේ සතුට සහ උපරීම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අප්‍රමාදීව කටයුතු කිරිම අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව දරුවන් රැකගමු – සමසේ සලකමු යන තේමාව පෙරටුකර ගනිමින් සියලුම දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන්, භාරකරුවන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු පුරවැසියන් ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරිම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කාරණයක් බව මා දැඩි ලෙස විශ්වාස කරමි.  වගකිවයුතු සියලු පාර්ශවයන් මේ සඳහා ඒකරාශී වි කටයුතු කිරීමෙන් දරුවන් වෙනුවෙන් සම අවස්ථා ලබා දෙන, සමානව සලකන සමාජයක් ගොඩනැගිය හැකි වනු ඇත.

මෙරට ළමුන් මුහුණ දෙන ළමා අපයෝජන සම්බන්ධිත සිදුවීම් නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම්දීමට කටයුතු කරමින් ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වා සිටිමි. ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිසි උපදෙස් හා නිසි උපකාර ලබා ගැනීමට කටයුතු කිරීමෙනුත්, ළමයින්ට සිදුවන අපහසුතාවයන් මගහරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ලෝක ළමා දිනය සමරන අද දින, ළමා හිතකාමී සමාජයක් පවත්වාගෙන යාම සඳහා මාගේ සුභාශිංශන එක් කරමි. දැයේ සියලුම ළමයින් සියලුම ආකාරයේ අපයෝජන වලින් ආරක්ෂා කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ලෙස මාගේ උපරිම කැපකිරිමෙන් කටයුතු කරන බව වගකීමෙන් දන්වා සිටිමි.

සරෝජීනී කුසලා වීරවර්ධන

සභාපති

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *