පාර්ලිමේන්තුව නියෝජනයේ දී වැඩි ඉඩකඩක් කාන්තාවට ලබාදීමෙන් ආණ්ඩුවට සමබර තීරණ ගැනීමේ හැකියාව ලැබෙන බව පාර්ලිමේන්තු කාන්තා සංසදයේ හිටපු සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
“බහුතරයට ඉඩ දෙමු – කාන්තා දේශපාලන දායකත්වය වැඩි කරමු“ මැයෙන් විල් ක්ලබ් මගින් කොළඹ බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහත්මිය මේ බව පැවසුවාය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
ඉදිරි මහමැතිවරණයේ දී පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි. මේ වන විට මෙරට සුදුසුකම් ලත් ඡන්ද දායකයින්ගෙන් සියයට 56 ක් කාන්තාවන් වෙනවා. පැවති පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තිබුණේ සියයට 5යි. මන්ත්‍රීවරුන් 225න් කාන්තාවන් සිටියේ 10යි. දක්ෂ කාන්තාවන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට පක්ෂ කටයුතු කළේ නැත්නම් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ දක්ෂ බුද්ධිමත් කාන්තාවන් ටිකක් පාර්ලිමේන්තුවට පත් කර එවන ලෙසටය. රටේ තිබෙන ප්‍රධාන පක්ෂ සියල්ලගේම සභාපතිත්වය, මහලේකම් ධුරය දරන්නේ පුරුෂයන්. දේශපාලනය තුළ තිබෙන්නේ පුරුෂාධිපත්‍යය. එවිට බොහෝ විට අපේක්ෂක අපේක්ෂිකාවන් තෝරණ විට දී විශාල ධනස්කන්ධයක් අවශ්‍ය වෙනවා. ජයග්‍රහණය කළ හැකි හොඳම පිරිසක් යෙදවීමට තමයි පක්ෂ වුණත් කටයුතු කරන්නේ. එතැන දී කාන්තාවන් අසාධාරණයට පත්වෙනවා. පක්ෂ සභාපතිවරුන්ගෙන්, මහලේකම්වරුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ අපේක්ෂිකාවන් ඉදිරිපත් කරන්න කියලා. එය දැනටමත් පක්ෂ සමඟ සාකච්ඡා කර තිබෙනවා. කුමන පක්ෂයට කතිරය ගැසුවත් එක් මනාපයක් තමන්ගේ පක්ෂයේ සිටින කාන්තාවක් වෙනුවෙන් භාවිත කරන ලෙසට ඡන්ද දායකයන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. මේ වෙනස කළේ නැත්නම් දේශපාලනය තුළ සමබර තීරණ ගැනීමේ හැකියාව නැති වෙනවා. කාන්තාව දූෂණයට බොහෝ විට විරුද්ධයි. ඒ වගේම නාස්තියට විරුද්ධයි. ඒ නිසා කාන්තාව දේශපාලනය තුළ තීරණ ගැනීමට යොමු වන විට ආණ්ඩුව සමබරව කටයුතු කිරීමට යොමු වෙනවා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩුවෙල ආසන සංවිධායිකා කුමාරි පතිරගේ, කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රිනී මසීනා බකර්, මොරටුව මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රිනී ලිහිනි ප්‍රනාන්දු, ජන අරගල සන්ධානයේ ස්වතිකා අරුලිංගම්, සමගි ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායිකා උමා චන්ද්‍රප්‍රගාෂ්, මොරටුව හිටපු නාගරික මන්ත්‍රිනී ශිරෝමි ඉන්දිකා කුරේ, එක්සත් ජාතික පක්ෂයේ අම්බලංගොඩ නගර සභාවේ කණ්ඩායම් සංවිධායිකා ඉන්ද්‍රා අයිරාංගනී, කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිනී උළුවඩුගේ සඳමාලි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම නගර සභාවේ හිටපු මන්ත්‍රිනී චන්ද්‍රිකා ද සොයිසා, සමගි ජන බලවේගයේ ගම්පහ නගර සභාවේ හිටපු මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල මහත්ම මහත්මීහු සහභාගි වූහ.