හජ් වන්දනාවේ යන්න වත්කමක් නැති ගම්බද ඉස්ලාම් බැතිමතුන්ටත් අවස්ථාව දෙන්න – ආගමික කටයුතු ඇමති කියයි

හජ් වන්දනාවේ යාම සඳහා වත්කමක් නැති ගම්බද ඉස්ලාම් බැතිමතුන්ටත් අවස්ථාව ලබා දෙන්නැයි ආගමික කටයුතු ඇමති විජිත හේරත් හජ් කෝටාව ලබාගත් ආයතන ප්‍රධානීන් අමතමින් අවධාරණය කර තිබේ.

ඒ, හජ් වන්දනාකරුවන්ට හිමිවන හජ් කෝටාව ආයතන 88කට ලබාදීම වෙනුවෙන් අද (04) ආගමික කටයුතු අමාත්‍යංශයේ පැවති වැඩසටහනේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආගමික කටයුතු ඇමති විජිත හේරත් පැවසූවේ,

“තෝරා ගැනීමේ කමිටුවේ ගැටලුවක් නැහැ. මෙහි න්‍යායික ක්‍රමයක් තිබුණට ඒක ප්‍රායෝගික නැහැ. කරන්න ගියාම තමයි ගැටළු මතුවෙන්නේ. ඒක තමයි හදාගන්න ඕනේ. අපි කැමතියි විනිවිද භාවයෙන් යුතුව ඒ තෝරා ගැනීම වන්දනාකරුවන්ට ලබා දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා කොළඹ සහ බස්නාහිර කේන්ද්‍ර වෙන්නේ නැතුව තව ටිකක් ගම් මට්ටමට ගිහිල්ලා හැමෝටම අවස්ථාව ලබා දෙන්න. ආර්’ථික වශයෙන් මේක අමාරු කාලයක් නිසා වන්දනාව යන්න ගොඩක් අමාරු දුෂ්කරතා තියෙන අයටත් යම් ක්‍රමවේදයක් හදන්න ඕනේ. යමක් කමක් තියෙන අයට තමයි වැඩිපුර ඉඩ ලැබෙන්නේ. චුට්ටක් ඔයාලත් හිතන්න, දෙවියන්ගේ ආශිර්’වාදය අපිට ලබාගන්න පුළුවන් වෙන්නේ දුප්පත් අයටත් හජ් වන්දනාවට අවස්ථාව ලබාදීමෙන් පමණයි.

“ආයතන විදිහට තමන්ට ලැබෙන කෝටා එකෙන් පුළුවන් උපරිමයෙන් ලංකාවේ හැම ඈත පිටිසර ගම්වලට විහිදෙන විදිහට, ආර්’ථික වශයෙන් අමාරු අයට ලබා දෙන්න පාවිච්චි වෙනවා නම් හොඳයි. ඊළඟට මේ කියන්ඩ ඕනේ වකුෆ්‍ සභාව සහ හජ් කමිටුව පවත්වාගෙන යන විදිහටම තමයි අපි පවත්වාගෙන යන්නේ. අපිට විවිධ අදහස් ඇවිල්ල තියෙනවා. නමුත් අපි ඒ අදහස් අනුව වෙනස්කම් කරන්න හිතලා නැහැ. ඒක අපි අනාගතයේදී බලමු. මේ හජ් වන්දනාකරුවන්ට අවස්ථාවන් ලැබුණයින් පස්සේ අපිට ඒවා පිළිබඳව තීන්දු ගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ආගමික කටයුතු අමාත්‍යංශය විදිහට සහ නව රජය විදිහට අපේ ප්‍රතිපත්තිය තමයි ආගම ඇදහීමේ අයිතිය ආරක්ෂා කිරීම ජනතාවට ලබාදීම. ඒකෙදි විවිධ අයට විවිධ මත තියෙනවා. විවිධ සංවිධාන වලට විවිධ මත තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම කියන්නේ ඉස්ලාම් ආගමේ තියෙන විවිධ නීති පිළිබඳව විවිධ මත තිබෙන නිසා. ඒ කියන්නේ කාන්තාවන්ට ක්‍රියාත්මක විවාහ නීතිය පිළිබඳව මේ වෙනකොට විවිධ මත තිබෙනවා.

දැනට පවතින ආගමික නීති රීති පිළිබඳව ආගමික කටයුතු අමාත්‍යංශය අපි වගකීමෙන් කියනවා. ඒ පිළිබඳව වැරදි මත මේ දවස්වල සමාජ මාධ්‍යවල, මැතිවරණ කාලයක් නිසා ප්‍රචාරය වෙනවා. ඒ එක දෙයක්වත් සත්‍ය නෙමේ. ඒ නිසා ඒවාට අහුවෙන්න එපා. ඒවා ප්‍රචාරය කරන්න හවුල් වුණොත් ඒවට මම මැදිහත් වෙන්නේ නෑ කියන එකත් කියන්න ඕනේ. ඔබට මතක ඇති පෞද්ගලිකවම මම යුද්ධය පවතින කාලේ යම් ජාතික විරසකයක් ඇතිවුණ කාලෙ තමයි 2004 අවුරුද්දේ මම කැබිනට් ඇමැතිවෙලා ඉන්නකොට මුස්ලිම් පාසල් දැරියන්ට හිජබය පළදින්න අවස්තාව දෙන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා.ඒ මීට අවුරුදු 20 කට කලින්. ඒ නිසා අපි කවදාවත් ආගමික නීති රීති වලට විරුද්ධ වෙලා නැහැ.

අද මේ කෝටා ලබා ගන්න ආයතනවල නිලධාරීන්ට කියන්නේ, මේ කටයුත්ත විනිවිධභාවයෙන් කරලා සෞදි රජයේ විශ්වාසය දිනා ගත්තොත් අපිට පුළුවන් මේ කෝටා එක වැඩි කරගන්න. ඒ විශ්වාසය රකින්න කියලා මම ඉල්ලනවා” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *