ලෝකයේ කලාවන් අතර සිනමාව යනු පෘථුල කලා මාධ්‍යයක් වන අතරම එය සැබැවින්ම සංකීර්ණ වූවකි. මානවයා තුළ පවතින්නාවූ මනෝභාවයන් නැවත නැවතත් ප්‍රකම්පනය කිරීමට සමත් මෙවන් වූ කලා මාධ්‍යයන් පැවතීම කෙතරම් ආනන්දජනක වන්නේද.
ඕනෑම කලා නිර්මාණයක් වේවා එය ඉදිරිපත් කරන නිර්මාණකරුවා එය සමාජයට මුදාහල පසු ප්‍රේක්ෂකයා තම අභිමතය පරිදි එකී නිර්මාණය වැළදගන්නේය. එහි දී තම දැනුම, උසස් රසවින්දන හැකියාව මත එකී නිර්මාණය වින්දනය කරයි. කලා නිර්මාණයක් තුළින් ප්‍රේක්ෂක මනස කලම්භනයට පත් කිරීමට හෝ යමක් සිතීමට ඉඩදී එම නිර්මාණය අහවර වන්නේ නම් එය වටිනා නිර්මාණයක් ලෙස අගය කළ හැකිය. නව පරම්පරාවේ නිර්මාණකරුවෙකුගේ වෙනස්ම වූ කලාත්මක ලක්ෂණ සහිත කෙටි චිත්‍රපටයක් නැරඹීමට ලැබුණු අවස්ථාව සමග ඒ පිළිබදව සටහනක් තැබිය යුතුය යන්න මට සිතුණි.
කවිය වේවා ගීතය වේවා සිනමා නිර්මාණයක් වේවා මතුපිට කියවෙන දෙයට වඩා යටි පෙළ යමක් කියවීමට සිතීමට නිර්මාණකරුවෙක් සමාජය පෙළඹවීමකට ලක් කරන්නේ නම් ඉතා අගනේය. “යථාර්ත” තුළ මා ඒ වෙනස දුටු බව කිව යුතුය. යොදා ගන්නා වූ සංකේත භාවිතය සියුම්ව අධ්‍යයනය කළහොත් මතුපිට අන්තර්ගතයට වඩා වැඩි යමක් එහි ගැබ්වී ඇත. (තරුණයා තුළ පවතින ව්‍යාකූලභාවය පෙන්නුම් කිරීමට යොදා තිබූ අපිළිවෙල සහිත පසුබිම)
නිර්මාණකරුවා තෝරා ගන්නට ඇත්තේ සරල කතා තේමාවක් වන්නට පුළුවන. නමුත් එය රස විදින ප්‍රේක්ෂකයාට තම අත්දැකීම්, පරිකල්පනය මත විවිධ වූ කෝණයන්හි හිදිමින් එකී නිර්මාණය සාකච්ඡාවට බදුන් කළ හැකිය. මෙහි එන කථකයා එකී කෙටි කාල පරාසය තුළ විවිධ චරිත නිරූපණය කරන්නේ යැයි මට සිතුණි. විටෙක ඔහු ඉබාගාතේ යන තරුණයෙකි. විටෙක ඔහු කුලීකරුවෙකි. තව විටක ජීවිතේ සිහින දකින්නෙකි. ඇතැම් තැනෙක ඔහු පිස්සෙකු සේද හැගේ. මෙම ච්ත්‍රපටිය තුළ තරුණයා සහ හිගන්නා එකම කාසියක දෙපැත්ත සේය. මා මෙම ච්ත්‍රපටිය තුළ නතර වූ තැන් බොහෝ ඇත. මෙහි ප්‍රධාන කථකයා දිනපතා හිගන්නාට ලබාදුන් මුදල් වෙනුවෙන් ඔහු කළ ප්‍රතිඋපකාරය ඇතුළත් සිදුවීම දිවෙන රූපරාමු පෙළ ප්‍රභල ලෙස ගොඩ නැගේ.
“උඹ තාම ඉලන්ධාරී වයස, ජීවිතේ නිකන් කාලකණ්ණි කරගන්න එපා. මම ඔය දීපු පොත බලලා ජීවිතේ අවබෝධ කරගනින් පුතේ”
ඇතැමුන් ජීවිතේ යථාර්තය තේරුම් ගන්නා විට කාලය ගෙවී ගොස් හමාරය. මට දැනුණා විදියට ගැඹුරු ජීවන දර්ශනයක් මේ කතාව ඇතුළේ තිබුනා කියලා. තවද මෙම චිත්‍රපටය තුළ මහපොළවේ සැබෑ ජීවිතවල යථාර්තය පෙන්නුම් කිරීම සදහා යොදා ගෙන තිබූ ස්වභාවික රූපරාමු හිද යම් වෙනසක් දුටිමි. එමෙන්ම කැමරා කෝණයන්හි විවිධත්වය සේම, වර්ණ සංකලනයද වෙනස් වූ මානයක දිවෙන බවත් එය නිර්මාණයෙහි කලාත්මක ගුණය රැක ගැනීමටද ඉවහල් වී ඇත. එසේම මෙහි යොදා තිබූ ගීත ද චිත්‍රපටියේ අර්ථ නිරූපණය කෙරෙහි දායකත්වයක් සපයා ඇත්තේය.
චිත්‍රපටිය ගැන කියනවට වඩා එය නැරඹුවොත් ඔබට වෙනසක් දැනේවි. මන්ද අපි එය නරඹන කෝණයන් වෙනස් නිසාවෙනි. තව දෙයක් චිත්‍රපටිය අවසානය තව ටිකක් වෙනස් වුණානම් හොදයි කියලත් මට හිතුණා. කෙසේ නමුත් වෙනස්ම ආකාරයේ සංකල්පයක් සමාජගත කිරීමට අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායම දැරූ ප්‍රයත්නය අගය කළ යුතුය. තරුණ පරම්පරාවේ නිර්මාණකරුවන් තුළ පවතින්නාවූ මෙවන් හැකියාවන් පිළිබද අප කතාබහ කළ යුතු අතරම ජීවිතය සමග තදානුබද්ධව පවතින සිනමාවට අප ආදරය කළ යුත්තා සේම එය රැක ගැනීමද වටිනේය.
“යථාර්ත” කෙටි චිත්‍රපට නිර්මාණය සදහා දායක වුණු සියලුම නිර්මාණශිල්පීන්ට ස්තූතිවන්ත වන අතර තවත් මෙවන් නිර්මාණ සිදුකිරීමට හැකියාව ලැබේවායි පතමි. ජය වේවා ♥️
- ඉරේෂා සදමාලි ජයවීර -
https://www.youtube.com/watch?v=EOtezXtWOnM