ගෝලීය සමාජයට තරගකාරී ලෙස මුහුණ දියහැකි වෘත්තිකයන් නිර්මාණය කළ යුතුයි. -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මේ මොහොතේ, සෑම කෙනෙකුගේ ම වගකීම වන්නේ පෞද්ගලික අවශ්‍යතා ගැන පමණක් නොව, රටේ අනාගත යහපත ගැන ද සිතා කටයුතු කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (15) පැවති ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනික සාමාජිකත්ව ප්‍රදානෝත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

   මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ හරිනි අමරසූරිය මහත්මිය,

අප ගෝලීය සමාජයක සාමාජිකයන් බව හඳුනාගෙන ඒ අනුව වෙනස් වී එයට අනුගත විය යුතු බවත් සපුරාගන්නා සුදුසුකම් අනුව සියලු ම වෘත්තිකයන් ගෝලීය සමාජයට, තරගකාරී ලෙස මුහුණ දීමට හැකි පිරිසක් බවට පත් විය යුතු බවත් පැවසුවා ය. අපගේ මානව සම්පත දේශීය හා ගෝලීය වශයෙන් වටිනාකම් සහිත පිරිසක් බවට පත් කළ යුතු බව ද පැවසූ අග්‍රාමාත්‍යවරිය, අප විසින් පිරිනමනු ලබන අධ්‍යාපන සුදුසුකම්වලට ද එවැනි ම වටිනාකමක් අවශ්‍ය වන බවත් පැවසී ය. යම් වෘත්තීමය උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා සම්පූර්ණ කළත් ඒවාට දේශීය හෝ විදේශීය පිළිගැනීමක් නොමැති වීමෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදු ව ඇති බවත් එවැනි අවථාවන්ට මුහුණ දුන් සිසුන් තමන්ට බොහෝ අවස්ථාවල හමු වී ඇති බවත් ඇය මෙහි දී සඳහන් කළා ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, අතීතයේ ගත් මෙවැනි වගකීම් විරහිත තීරණ නිසා කඩදාසියකට සිමා වූ සුදුසුකම් ඇති පුද්ගලයන් බිහි ව ඇති බවයි. වේගයෙන් වෙනස් වන ලෝකයක එම වෙනස්කම් පවත්වා ගැනීම හා සිසුන්ට එම අවස්ථා ලබා දෙන්නේ කෙසේ ද යන්න ගැන සිතා බැලිය යුතු අතර රැකියා ස්ථානගතකිරීම් පිළිබඳ සැලසුම් කිරීමටත් විශේෂයෙන් ම කාර්මික අධ්‍යාපනයට සම්බන්ධ අවස්ථා පුළුල් කිරීමටත් වත්මන් රජය කැප වී සිටින බවත් අවධාරණය කළ හරිනි අමරසූරිය මහත්මිය, මෙය ආරම්භ කළ යුත්තේ පාසලෙන් බව ද කී ය.

දශක ගණනාවක් පුරා අප රටත් සමාජයත් පසුබෑමකට ලක් ව තිබෙන නමුත් අප තවමත් අපේ සීමා මායිම් ආරක්ෂා කරගැනීමට උත්සුක වනවා හැර එකිනෙකාට අනන්‍ය වූත් වැදගත් වූත් දායකත්වයක් රට වෙනුවෙන් ලබා දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ සිතා බලන්නේ වත් නැති බව ද ඇය මෙහි දී සඳහන් කළා ය. රජයක් ලෙස, අපට අවශ්‍ය වන්නේ සෑම වෘත්තියකට ම අගයක් ලබා ගැනීමට සහ සංවර්ධනය වීමට අවස්ථා නිර්මාණය කිරීම බවත් වෘත්තිකයකු ලෙස මෙන් ම සමාජයේ සාමාජිකයකු සහ පුරවැසියකු ලෙස ද රටක් වශයෙන්, අපගේ සමාජය වඩාත් සාධාරණ හා වඩාත් සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවත් කී හරිනි අමරසූරිය මහත්මිය මේ මොහොතේ, අප සැමගේ වගකීම වන්නේ අපේ අවශ්‍යතා ගැන පමණක් නොව, රටේ අනාගත යහපත ගැනත් සිතීම බව ද පැවසී ය. 

මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, ශ්‍රි ලංකා සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ සභාපති ඉංජිනේරු S.B.G.C.P සම්පත් බණ්ඩාර, මහාචාර්ය ඉංජිනේරු භද්‍රානි තෝරදෙණිය යන මහත්ම මහත්මීන් ඇතුළු සමාජිකත්වලාභින් මෙන් ම ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනෙරුවරුන්ගේ ආයතනයේ නිලධාරින් හා සමාජිකයෝ ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *