අස්ගිරි පාර්ශවයේ අනුනායක, කුරුණෑගල ඇත්කඳ රජ මහ විහාරාධිපති අධ්‍යාපනපති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් අපවත් වූහ.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්වූ අතර ඒ වන විට උන්වහන්සේ 67 වන වියේ පසුවෙති.
1958 සැප්තැම්බර් 03 වනදා ආණමඩුව කොට්ටුකච්චිය ග්‍රාමයේදී රාජකරුණ හේරත් මුදියන්සේලාගේ මහානාම රාජකරුණ මහතා සහ අධිකාරී මුදියන්සේලාගේ පුංචි මැණිකේ මහත්ම මහත්මීන්ට දාව රාජකරුණ හේරත් මුදියන්සේලාගේ උපාලි රාජකරුණා නමින් උපත ලැබූ ඒ පිනැති කුමරු කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.
සාමාන්‍ය පෙළ සමත්ව ආණමඩුව ශ්‍රී ආනන්දාරාමයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි ඒ කුමරු අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක හිමියන්ව වැඩ විසූ උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක හිමි සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික වඳුරාගල ශ්‍රී රතනජෝති මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1976 මැයි මස 19 වනදා ආණමඩුවේ ධම්මදස්සි නමින් පැවිදිබිමට පත්විය.
උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මාහිමිපාණන් වහන්සේගේ සහ වඳුරාගල රතනජෝති මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හාල්යාලේ ශ්‍රී සුමනතිස්ස අනුනාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් 1979 මැයි 20 දින උන්වහන්සේ උපසම්පදාවට පත්වූ අතර වර්ෂ 1982දී උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූහ.
එහිදී පාලි භාෂාව පිළිබඳ විශේෂ උපාධිය ලබා ගත් උන් වහන්සේ වර්ෂ 1990දී කැලණිය විශ්ව විද්‍යාලීය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් පශ්චාති උපාධිය ලැබූහ.
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් පාසල් ගුරු සේවය ඇරඹූ උන්වහන්සේ නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර අනතුරුව ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධූරයට ද පත්වූහ.
අස්ගිරි මහ විහාරීය කාරක සංඝසභාව සඳහා උන් වහන්සේ වර්ෂ 2002දී පත්වූ අතර 2008 මාර්තු 01 වනදා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් ප්‍රධාන ලේඛකාධිකාරිධුරයට පත්වූහ.
අස්ගිරි මහ විහාරීය සම්ප්‍රදායන් ආරක්ෂා කර ගත් උන්වහන්සේ ශ්‍රී දන්න ධාතූන් වහන්සේ උදෙසා තේවා කටයුතු වල නිරතවූ අතර ඉන්දියාව, පකිස්තානය, ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, චීනය, කොරියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය, ආදී රටවල ආගමික කටයුතු හා ශාස්ත්‍රීය කටයුතු වල නිරතවී තිබේ.
අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අනුනායක අතිගෞරවාර්හ ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය. ඒ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී ය.
අද (21) සවස 4ට මහනුවර ලියන්ගස්තැන්න විහාරයට ශ්‍රී දේහය වැඩම කරවීමට නියමිත අතර, හෙට (22) දින පස්වරු 3ට එම විහාරයෙන් අස්ගිරි මහා විහාරීය ප්‍රවර උපාලි අනුස්මරණ ශාලාව වෙත වැඩම කරවීමට නියමිතව තිබේ. ලබන 24 වන දින දක්වා අනුනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය එම ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරතිබේ.
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිගෞරවාර්හ ආනමඩුවේ ධම්මදස්සි නාහිමියන් මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) දින රාත්‍රියේ අපවත් වී තිබුණි. අපවත් වනවිට නාහිමිපාණන් වහන්සේ 67වන වියේ පසුවුණි.