මුලතිව් දිස්ත්‍රික්කයේ නාගරික සංවර්ධනය සහ මහා මාර්ග සංවර්ධනය පිළිබඳ විශේෂ සංවර්ධන කමිටු රැස්වීමක් 2026 පෙබරවාරි 11 වන දින මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ජලගැලීම් නිසා මුලතිව් දිස්ත්‍රික්කයේ විනාශවූ පාලම් නැවත ඉදිකිරීමට සහ හානියට පත් මහා මාර්ග පිළිසකර කිරීමට රුපියල් බිලියන 12ක මුදලක් අවශ්‍ය වන බව මෙහිදී අනාවරණය විය. අදාළ ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉතිරි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මුලතිව්–ත්‍රිකුණාමලය මාර්ගයේ වට්ටුවාක්කල් පාලම ඉදිකිරීම සඳහා පමණක් රුපියල් මිලියන 6000ක් වෙන්කර ඇති අතර ජලගැලීම් හේතුවෙන් දිස්ත්‍රික්කය තුළ කිලෝමීටර් 300කට ආසන්න මාර්ග පද්ධතියකට හානිවී ඇති බවද හෙළිවිය. එම මාර්ග කඩිනමින් පිළිසකර කිරීම අවසන් කිරීමට අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසා සිටියේ මුලතිව් සිට කොළඹ දක්වා ධාවනය වන සුඛෝපභෝගී බස්රථ දෙකක් පමණක් සහ අර්ධ සුඛෝපභෝගී බස්රථ දෙකක් පමණක් පවතින බවත්, ප්‍රවාහන පහසුකම් අඩුව හේතුවෙන් ජනතාව විශාල පීඩාවකට ලක්ව සිටින බවත්ය. එමෙන්ම දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සඳහා ‘සිසු සැරිය’ බස් සේවාවක් නොමැති වීම පිළිබඳ අවධානය යොමු කර පාසල් සේවා සඳහා බස්රථ ලබාදීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
ඔඩ්ඩුසුඩාන් ඇතුළු ප්‍රදේශ කිහිපයක නව බස්නැවතුම් පොළවල් ඉදිකිරීම සම්බන්ධයෙන් සහ මුලතිව් දිස්ත්‍රික් නගර සංවර්ධන සැලැස්ම යටතේ ඉදිකරනු ලබන මුලතිව් බස්නැවතුම්පල සහ සාප්පු සංකීර්ණය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. තිලකනාදන්, කාදර් මස්තාන්, ටී. රවිකරන්, උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගම්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒ. උමා මහේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
