සිංහල – දමිළ සංහිඳියාව මතුකළ උතුරු පළාත් අවුරුදු උත්සවය උත්කර්ෂවත් ලෙස යාපනයේදී

උතුරු පළාත් අධ්‍යාපන, ක්‍රීඩා සහ සංස්කෘතික අමාත්‍යංශය විසින් සංවිධානය කළ උතුරු පළාත් අවුරුදු උත්සවය 2026 අප්‍රේල් 17 දින යාපනය කරවෙඩ්ඩි ඉමාන්යන් විද්‍යාල ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.
මෙම උත්සවය සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් සහ ජාතික ජනබලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජේචන්ද්‍රන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
සිංහල, දමිළ, මුස්ලිම් සහ කතෝලික පාසල් සිසුන් එක්ව ඉදිරිපත් කළ විවිධ සංස්කෘතිකාංග, නර්තන සහ සංගීත ඉදිරිපත් කිරීම් උත්සවය සජීවී කරමින් ජාතික එකමුතුවේ අරුත මනාව පෙන්වා දෙන ලදී.


ඒ අතර කොට්ටාපොර, කඹ ඇඳීම වැනි සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සහ හින්දු ජනතාවට සම්ප්‍රදායික ක්‍රීඩා රැසක්ද සංවිධානය කර තිබුණි. උතුරු පළාතේ රාජ්‍ය නිලධාරීන් සඳහාද විශේෂ අවුරුදු ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයකි.
එමෙන්ම ස්වයංරැකියා ලාභීන් විසින් නිෂ්පාදනය කරන ලද අත්කම් භාණ්ඩ, බතික් රෙදිපිළි ඇතුළු වෙළඳකුටි ද ප්‍රදර්ශනය කර තිබූ අතර, ඒවා නිරීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආරාධිත පිරිස එක්විය.
මෙම අවස්ථාවට උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ෆැක්ට්‍රික් නිරංජන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විශාල ජනතා පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම උත්සවය සිංහල සහ දමිළ ජනතාව අතර සංහිඳියාව, එකමුතුව සහ සංස්කෘතික එකඟතාව තවදුරටත් ශක්තිමත් කරනු ලබන වැදගත් වේදිකාවක් ලෙස සැලකේ.