මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති අනුරාධපුර බාලවයස්කාර දැරියකට සිදුවූ ළමා අපයෝජන සිදුවීම සම්බන්ධවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම සිදුවීම වාර්තා වූ දිනයේ සිට නියාමන කටයුතු සිදු කරමින් සිටින අතර ඉදිරියටද මෙම බාල වයස්කාර දැරියගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ඇයට යුක්තිය ඉටුවන පරිදි මෙම විමර්ශන කටයුතු සිදුවනවා දැයි නියාමනය කිරීම සහ  අවශ්‍ය අවස්ථා වලදී ළමයාගේ උපරිම යහපත වෙනුවෙන් සුදුසු පියවර ගැනිමට සුදානම් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාව වෙත දන්වා සිටී.

මෙම දැරියගේ අයිතිවාසිකම් හා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත එල්ලවී නොමැති බවත් මේ සම්බන්ධ කටයුතු නිසි පරිදි නියාමනය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරි පියවර ගන්නා බවත් සඳහන් කරමු. මේ සම්බන්ධයෙන් පුරවැසියන් කිසිදු අනියත බියක් හෝ මහජන කැළඹීමක් ඇති කරගැනීමට හේතුවක් නොමැති බවත්, යම් හෙයකින් අනවශ්‍ය ලෙස මහජන කැළඹීමක් ඇති වුවහොත් එමගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධාවක් වියහැකි බවත් වැඩිදුරටත් සඳහන් කර සිටිමු.

එසේම මේ වන විට වින්දිත දැරිය විශේෂ රැකවරණ මධ්‍යස්ථානයක ඉතාම සුරක්ෂිතව රඳවා ඇයගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ලෙස ඉතාම වගකීමෙන් දැනුම් දෙමු.

ළමුන්ට සියළු ආකාරයේ හිංසනයන්ගෙන් ආරක්ෂාවීමට ඇති අයිතිය තහවුරු කිරීම අප සැමගේ යුතුකම මෙන්ම වගකීමද වන්නේය.

ශානිකා මලල්ගොඩ

අධ්‍යක්ෂ – සැලසුම් හා තොරතුරු

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

සභාපති වෙනුවට