වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම (02-26) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, වවුනියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2026 වසර සඳහා දිස්ත්‍රික් සංවර්ධන සැලසුම් ඉදිරිපත් කිරීම හා ඒ සඳහා අවශ්‍ය මුදල් අනුමත කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ විය
එහිදී 2026 වසරේ වවුනියාව නගර සංවර්ධනය සඳහා රුපියල් මිලියන 250ක මුදලක් අනුමත කරන ලද අතර, ප්‍රාදේශීය සංවර්ධනය යටතේ මාර්ග 36ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 250ක්ද, දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ පාලම් 9ක් අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 100ක්ද වෙන් කරන ලදී. එමෙන්ම මීටර් 500ට අඩු ග්‍රාමීය මාර්ග 21ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 350ක් අනුමත කරමින් සමස්තයෙන් රුපියල් මිලියන 950ක මුදලක් දිස්ත්‍රික් සංවර්ධනයට වෙන් කෙරිණි.
තවද, දිස්ත්‍රික්කය තුළ විදුලිය නොමැති පවුල් 695ක් සඳහා විදුලිය ලබාදීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් සහ කුඹුරු ඉඩම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙත නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ජගදීස්වරන් මහතා සහ එස්. තිලකනාදන් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්, වවුනියාව අතිරේක දිස්ත්‍රික් ලේකම් එන්. කමලදාසන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මෙම රැස්වීම මඟින් 2026 වසරේ වවුනියාව දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම්, මාර්ග, පාලම් සහ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් පදනමක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

