Atlas විසින් අලුත් අවුරුදු සමයේ පොඩිත්තන්ගේ දැනුම වඩවන තෑගි කට්ටලයක් හඳුන්වා දෙයි

උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ දී දරුවන්ට තෑගි පිරිනැමීමේ සම්ප්‍රදායයට නැවුම් මුහුණුවරක් එක් කරමින් Atlas Axillia පුද්. සමාගම විසින් විශේෂයෙන් සකස් කරන ලද සීමිත ‘අලුත් අවුරුදු තෑගි කට්ටලයක්’ හඳුන්වා දී තිබේ. උත්සව සමයට සමගාමීව එළිදැක්වූ මෙම අලුත් අවුරුදු තෑගි කට්ටලය හරහා ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ඉගෙනීම සහ සංවර්ධනයට බෙහෙවින් ඉවහල් වන නව විනෝදාත්මක අත්දැකීමක් ළඟා කර දෙයි. එමෙන්ම සම්ප්‍රදායික තෑගි පිරිනැමීම්වලින් තොරව දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීමට උනන්දුවන දෙමාපියන්ට, ඥාතී හිතමිත්‍රාදීන්ට සහ ඕනෑම අයෙකුට මෙය කදිම තෝරා ගැනීමක් වනු ඇත. ‘පොඩි වැඩ්ඩන්ගේ දැනුම වඩන හොඳම තෑග්ග’ යන  තේමාව යටතේ හඳුන්වා දී ඇති මෙම තෑගි කට්ටලය, දූවා දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි පරිසරයක් නිර්මාණය කර දෙන Atlas හි මූලීක පරමාර්ථයට ද වැඩි වටිනාකමක් එක් කරනු නිසැකය.

අවුරුදු සතුටට අධ්‍යාපනික වටිනාකමක් එක් කරමින්, Atlas අලුත් අවුරුදු තෑගි කට්ටලය දරුවන්ගේ නිර්මාණශීලිත්වය, කුතුහලය සහ ඵලදායිත්වය වර්ධනය කිරීමට උපකාරී වන උසස් තත්ත්වයේ ලිපි ද්‍රව්‍ය සහ ඉගෙනුම් මෙවලම් වලින් සමන්විත වේ. ඉගෙනීම විනෝදජනක සහ උද්‍යෝගිමත් විය යුතු බව Atlas හි විශ්වාසය වන බැවින් පාසල් දරුවන්ගේ එදිනෙදා අධ්‍යාපනික කටයුතු සතුටින් යුතුව සිදු කරගෙන යාමට ඉවහල් වන පරිදි මෙය සකස් කර තිබේ. උත්සව සමයන්හිදී සම්ප්‍රදායික තෑගි ලබා දීමේ රටාව නව මුහුණුවරකින් ගෙන එන මෙම තෑගි කට්ටලය, දුවා දරුවන්ගේ දිගුකාලීන කුසලතා සංවර්ධනයට සහාය වෙමින්, නිවාඩු සමය අර්ථාන්විතව ගත කිරීමට උපකාරී වනු ඇත. මෙහි අඩංගු ඇතැම් ත්‍යාගයන් විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ අවුරුදු නැකතේ වැඩ ආරම්භ කිරීම සඳහා වන සුබ වේලාවේ දී භාවිතා කිරීමත්, අධ්‍යාපනික ක්‍රියාකාරකම් චාරිත්‍ර වාරිත්‍රවලට බාධාවකින් තොරව ඒකාබද්ධ කර ගැනීමත් අරමුණු කර ගනිමිනි.

මෙම අවුරුදු තෑගි කට්ටලය හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Atlas Axillia පුද්. සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී කසුනි බණ්ඩාර මෙනවිය මෙසේ පැවසුවා ය. ‘‘සතුටින් ඉගෙනගත හැකි වටපිටාවක් බිහි කිරීම, Atlas හි අපගේ නිරන්තර කැපවීමයි. මෙම අලුත් අවුරුදු තෑගි කට්ටලය අප නිර්මාණය කරනු ලැබුවේ උත්සව සමයේ සතුට සමගින් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට අමතර වටිනාකමක් එකතු කිරීම සඳහායි. දුවා දරුවන්ගේ ගවේෂණ හැකියාවන්, නිර්මාණශීලී චින්තනයන් දිරි ගන්වමින්, ප්‍රායෝගික දැනුම ඔස්සේ ඉගෙනුම් ක්‍රියාවලියට උනන්දුවක් ඇති කරලීම මෙහි මුලීක අරමුණයි’’

දිවයින පුරා ප්‍රමුඛ පෙළේ සිල්ලර වෙළඳසැල්, ලිපිද්‍රව්‍ය වෙළඳසැල්, ප්‍රමුඛ පෙළේ විද්‍යුත් වාණිජ්‍ය නාලිකා (e-commerce) ඔස්සේ අප්‍රේල් මස මුල සිට ලබා ගත හැකි මෙම Atlas අවුරුදු තෑගි කට්ටලය, ශ්‍රී ලාංකේය දුවා දරුවන් සඳහා නව්‍යකරණයෙන් යුත් උසස් තත්ත්වයේ අධ්‍යාපනික මෙවලම් ලබා දෙන Atlas සන්නාමයේ මාහැඟි කැපවීම පිළිබිඹු කරනු ඇත. අලුත් අවුරුද්දේ වටිනාකම සැබැවින්ම විනෝදජනක අත්දැකීමක් බවට පත් කර ගනිමින්, අර්ථාන්විත තෑගි ලබා දීමේ සම්ප්‍රදායක් සමග අත්වැල් බැඳ ගන්නැයි Atlas සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරනු ලබයි.