ආබාධ සහිත සිසුන්ගේ දක්ෂතා හා කුසලතා ඇගයීමට ලක් කිරීමට සහ ඔවුන්ගේ සෞන්දර්යාත්මක හා නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය අවස්ථා සළසාදීමේ අරමුණින් සංවිධානය කරන ලද පියසර – 2026 , “හැකියාවන්ට පියාපත්” වැඩසටහන 2026 නොවැම්බර් 14 වන දින කොළඹ නාලන්දා විද්‍යාලයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

​මෙම වැඩසටහන යටතේ පසුගිය පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් පළාත් නවය නියෝජනය වන පරිදි තෝරාගත් විශේෂ පාසල්වල සහ විශේෂ අධ්‍යාපන ඒකකවල අධ්‍යාපනය ලබන සිසුන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කෙරිණි. එමෙන්ම ක්‍රීඩා, සෞන්දර්ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි විශිෂ්ට දක්ෂතා දැක්වූ පාසල් ද මෙහිදී ඇගයීමට ලක් විය.

​මෙම වැඩසටහනේ සුවිශේෂීත්වයක් වූයේ

ආබාධ සහිත සිසුන්ගේ සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම් සඳහා අන්තර්කරණ අධ්‍යාපන සංකල්පය පදනම් කරගනිමින් සාමාන්‍ය පාසල්වල සිසුන් ද එක්වීමයි. ඒ අනුව ආබාධ සහිත සිසුන්ට මෙන්ම අනෙකුත් සිසුන්ට ද එකම වේදිකාවකදී සිය හැකියාවන් හා කුසලතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සැළසීම මෙහි කැපී පෙනෙන අංගයක් විය.

​අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අන්තර්කරණ අධ්‍යාපන සංකල්පය (Inclusive Education) හුදෙක් න්‍යායාත්මක සංකල්පයකට සීමා නොකර, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇති බව මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා අවධාරණය කළේය.

ආබාධ සහිත දරුවන් කිසිඳු අයුරකින් අනෙකුත් දරුවන්ට වඩා පහත් නොවන බව පෙන්වා දුන් ලේකම්වරයා, නිසි මඟපෙන්වීම, අවශ්‍ය පහසුකම් සහ අවස්ථාවන් ලබාදීම තුළින් ඔවුන්ට ද ස්වාධීනව ජීවත්වෙමින් සමාජයේ සක්‍රීය සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළ හැකි බව සඳහන් කළේය.ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමවේදය සඳහා අමාත්‍යාංශය ප්‍රමුඛත්වය ලබාදී ඇති බවත්, ඉදිරියේදී මෙම දරුවන් සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය තුළට වඩාත් පුළුල් ලෙස ඒකාබද්ධ කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

​මෙම දරුවන්ගේ අධ්‍යාපනික හා සමාජීය සංවර්ධනය වෙනුවෙන් සාමාන්‍ය ඉගැන්වීම් කාර්යභාරයට එහා ගිය කැපවීමකින් කටයුතු කරන විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන්ගේ මෙහෙවර ද මෙහිදී ලේකම්වරයාගේ ඇගයීමට ලක් විය. එම කාර්යභාරය හුදෙක් වෘත්තීය වගකීමකට සීමා නොවන, මානුෂීය හා සමාජීය වශයෙන් ඉතා වැදගත් මෙහෙවරක් බව ඔහු පෙන්වා දුන්නේය.

​එමෙන්ම, ආබාධ සහිත දරුවන් සමාජගත කිරීම සඳහා දෙමාපියන් දක්වන අඛණ්ඩ කැපවීම සහ ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් සිදුකරන කැපවීම් ද අගය කළ ලේකම්වරයා, එවැනි සහයෝගයන් දරුවන්ගෙ අනාගත සංවර්ධනයට මනා පිටුවහලක් වන බව සඳහන් කළේය.

අධ්‍යයන කටයුතු මෙන්ම ​කථනය, රංගනය, ක්‍රීඩාව ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හිදී මෙම දරුවන් ප්‍රදර්ශනය කරන සුවිශේෂී දක්ෂතා සහ කුසලතා අමාත්‍යාංශයේ සතුටට හේතුවක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

එමෙන්ම, මෙම වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර සංවිධාන සහ පෞද්ගලික අංශය ලබාදෙන අනුග්‍රහය හා සහයෝගය අමාත්‍යාංශයේ විශේෂ ඇගයීමට ලක්වන බව ද සඳහන් කෙරිණි.

​මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විශේෂ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ගුරුභවතුන්,දෙමාපියන් ඇතුළු සිසුන් පිරිසක් සහභාගි වූහ.