මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන යළි නිරාවරණය කිරීම ඊයේ (20) සිදු කෙරිණි.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ උභය මහා විහාරීය මහා සංඝරත්නයේ සහ තායිලන්ත ථෙරවාදී බෞද්ධ පැවිදි සම්ප්රදායේ ගෞරවාදරයට පාත්‍ර වූ භාවනා ආචාර්යවරයකු හා ආධ්‍යාත්මික ගුරුවරයකු වන අතිපූජ්‍ය ලුආං පෝ-අනන් අකංචාගනෝ ස්වාමීන් වහන්සේ ප්රමුඛ තායි දූත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම නිරාවරණය සිදු විය.
මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මඟපෙන්වීම යටතේ විශ්ව පාරමී පදනමේ මූලිකත්වයෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.
මෙවර ප්‍රතිසංස්කරණයේදී වර්ග අඩි 2,900කින් සමන්විත සමස්ත රන් වියනේ පෘෂ්ඨය කැරට් 24 රන් මොසැයික් තාක්ෂණය යොදා ගනිමින් වඩාත් අලංකාරවත් හා කල්පවතින ආකාරයෙන් නිමවා ඇත.
ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටින ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මැදුරට සෙවණ සලසමින් ඊට ඉහළින් ඉදිකර ඇති මෙම රන් වියනේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත්තේ 2025 වර්ෂයේදීය.
දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදුකරනු ලබන රාජකීය පූජෝපහාර සම්ප්‍රදායට අනුව 1987 වර්ෂයේදී එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙම රන් වියන සාදවා පූජා කර තිබේ. ඉන් අනතුරුව 2002 සහ 2018 යන වර්ෂවලදී අවස්ථා දෙකකදී එය ප්‍රතිසංස්කරණය කර ඇත.
කාලයත් සමඟ රන්පත් අවපැහැ ගැන්වීම හා ක්ෂය වීම හේතුවෙන් රන් වියනේ පැවති දිස්නය සහ අලංකාරය ක්‍රමයෙන් අඩුවීම සැලකිල්ලට ගනිමින්, මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීම යටතේ මෙවර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.
අතිශය අලංකාරවත් මෙන්ම වාස්තු විද්‍යාත්මක වටිනාකමකින් ද යුත් මෙම රන් වියන ශ්‍රී දළදා මාළිගාවේ දෘශ්‍ය අනන්‍යතාව ලොවට විදහා දක්වන සුවිශේෂී නිර්මාණයකි. එය ශ්‍රී දළදා මාළිගාව නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ මෙන්ම සංචාරකයන්ගේ ද විශේෂ අවධානයට ලක්වන අංගයක් ලෙස සැලකේ.