වන අලි - මිනිස් ගැටුම කළමනාකරණය කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ අධීක්ෂණ කමිටුව සහ ක්‍රියාකාරී කමිටුව පාර්ලිමේන්තුවේ දී රැස්වේ

- අධීක්ෂණ කමිටු සභාපති, ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රගති සමාලෝචන හා ප්‍රතිපත්තිමය සාකච්ඡාවක්-

වන අලි - මිනිස් ගැටුම විද්‍යාත්මක, සමාජ-ආර්ථික සහ පාරිසරික යන සියලු පැතිකඩ ඔස්සේ කළමනාකරණය කිරීම සඳහා සැකසෙන ජාතික ක්‍රියාකාරී සැලැස්මේ යෝජනා ඇතුළත් මූලික කෙටුම්පත (වාර්තාව) 2026 දෙසැම්බර් 20 වන දින වන විට අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට ඊයේ (20) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 03 හිදී පැවති විශේෂ සාකච්ඡාවේදී තීරණය විය.

අධීක්ෂණ කමිටුවේ සභාපති, ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අධීක්ෂණ කමිටුවේ මහජන නියෝජිතයින්, ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීමේ විද්වත් ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් සහ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීහු එක්ව සිටියහ.

සාකච්ඡාව ආරම්භ කරමින් ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පෙන්වා දුන්නේ, ක්‍රියාකාරී කමිටුව විසින් මේ වන තෙක් ඉටු කර ඇති කාර්යභාරයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් නිශ්චිත කාලවකවානු ඔස්සේ සැලසුම් කිරීමත් අත්‍යවශ්‍ය බවයි.

ක්‍රියාකාරී කමිටුවේ සභාපති, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ඩී. පී. සී. උදය කුමාර මහතා විසින් කමිටුව මේ දක්වා සිදු කර ඇති කටයුතුවල සාරාංශයක් ඉදිරිපත් කරන ලද අතර ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා සැකසෙන මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්මේ සංකල්පමය ප්‍රවේශය පිළිබඳව විද්වත් පැහැදිලි කිරීමක් සිදු කළේය.

වන අලින්ගේ පැවැත්ම මෙන්ම මහජනතාවගේ ආරක්ෂාව සහ ජීවනෝපාය යන දෙපාර්ශ්වයම සලකා බලමින් ප්‍රායෝගික සැලසුම් සකස් කිරීම සඳහාත්, රක්ෂිත ප්‍රදේශ තුළ මිනිසුන් විසින් සිදු කරනු ලබන සියලු අනවසර ක්‍රියාකාරකම් ක්‍රමයෙන් කළමනාකරණය කිරීම සඳහාත්, එම ප්‍රදේශ වන අලින්ට හිතකර පාරිසරික තත්ත්වයන් යටතේ සංවර්ධනය කිරීම සහ ආහාර හා ජල මූලාශ්‍ර ඇතුළත් සුපෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙහි දී අවධානය යොමු විය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DWC) මගින් දිවයින පුරා දැනට ක්‍රියාත්මක කර ඇති විදුලි අලිවැට ඉදිකිරීම් හා නඩත්තුව, මුරකුටි ස්ථාපිත කිරීම සහ වනඅලි පාලන ඒකකවල වත්මන් ක්‍රියාකාරී ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, අධීක්ෂණ කමිටුවේ යෝජනා ද ඇතුළත් කරමින් ක්‍රියාකාරී කමිටුව විසින් සකස් කරනු ලබන මූලික කෙටුම්පත් වාර්තාව 2026 දෙසැම්බර් 20 වන විට අධීක්ෂණ කමිටුව වෙත යොමු කිරීමටත්, ඉන් අනතුරුව සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සැසියක් පවත්වා ජාතික ක්‍රියාකාරී සැලැස්ම අවසන් කිරීමටත් මෙහිදී තීරණය විය.