ගුරු වෘත්තීය සමිති නායකයින් පිළිබඳ – ප්‍රවෘත්ති නිවේදනය

·       අමාත්‍යාංශය සියලු කටයුතු සිදු කර ඇත්තේ නිත්‍යානුකූලවයි. නුසුදුස්සන් ඇත්නම් පෙන්වන්න

·       ගුරු මාරුවලදී විවිධාකාරයේ අල්ලස් ඉල්ලූ ගුරු වෘත්තීය සමිති නායකයින් පිළිබඳවත් තොරතුරු ලැබී තිබෙනවා

·       නීත්‍යානුකූල නොවන යමක් සිදු වී ඇත්නම් දැනුම් දෙන්න. යුක්තිය ඉටුකරන්න කැපවෙනවා

–         අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි

පසුගිය වසර 24 කට අධික කාලයක දී අධ්‍යාපන පද්ධතිය තුළ දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින්  12,000 කට අධික සංඛ්‍යාවක් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා අභියාචනා ඉදිරිපත් කර තිබූ බවත් ඒ සම්බන්ධව පරීක්ෂා  කිරීම ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කර 1,018 කට සහන සැලසීමට කටයුතු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මෙලෙස තෝරා ගනු ලැබූ පිරිස් දේශපාලනික වශයෙන් පළිගැනීමට ලක් වූ බවට නීත්‍යානුකූලව තහවුරු වී ඇති බැවින් ඔවුන්ට හිමි අවස්ථා ලබාදීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම තම වගකීමක් බව ද අමාත්‍යවරයා පැහැදිලි කළා.

මෙලෙස සහන ලබාදුන් අය අතර විවිධ දේශපාලන පක්ෂවල පිරිස් සිටින නමුත් කිසිදු ලෙසකින් පක්ෂග්‍රාහීව කටයුතු නොකොට දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට මෙලෙස සහන ලබාදුන් බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතැම් වෘත්තීය සමිති පවසන ආකාරයට එලෙස නුසුදුස්සන් සිටී නම් එය පෙන්වන ලෙස අභියෝග කරන බව ද පැවසුවා.

පසුගිය රජය සමයේ කොමිසම් සභා අත්හිටුවා තොග පිටින් දේශපාලන පත්වීම් ලබාදුන් අවස්ථාවලදී නිහඩව සිටි වෘත්තීය සමිති නායකයින්ගේ දේශපාලන න්‍යාය පත්‍ර පිළිබඳ තොරතුරු තමා වෙත ලැබී ඇති බවත් පසුගිය දිනවල සිදු කළ ගුරු මාරු ක්‍රියාත්මක කිරීමේ දී විවිධාකාරයේ අල්ලස් ඉල්ලූ වෘත්තීය සමිති නායකයින් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තාවී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඕනෑම අසාධාරණයක් පිළිබඳව සාක්ෂි සහිත තොරතුරු ලබාදෙන්නේ නම් තමන් ඒ සම්බන්ධයෙන් සාධාරණව පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කිරීමටත් වරදකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සේවයේ නියුතු අනධ්‍යයන සේවක මහත්ම මහත්මීන් සමග පැවති හමුවකට අද(07) එක්වෙමින්.

 (මීට අදාළ ඡායාරූප, දර්ශන සහ හඩපටය මේ සමග FTP හා  ඊමේල් මගින් යොමු කර ඇත).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *