අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරිය වැලිකඩ සිපිරි ගෙදරට

මෙරට පිහිටි රැඳවියන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන 30 තුළම පුස්තකාල ඇති කිරීමටත් එහි පළමු පියවර ලෙස බන්ධනාගාර 10 ක පුස්තකාල ඉදිකිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හරහා කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (26) වැලිකඩ බන්ධනාගාරයේ දී පැවති උත්සවයක දී ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ බන්ධනාගාර රැදවියන්ට හොඳ පොත් කියවීමේ අවස්ථා ලබා දීමටත් ඒ අනුව ත්‍රිපිටකය, බයිබලය, කුරාණය ආදී ආගමික පොත්ද, මහාවංශය පන්සිය පණස් ජාතක පොත මෙන් ම නෙල්සන් මැන්ඩෙලාගේ වැනි චරිතාපදාන ද මනෝ විද්‍යාව සහ සාහිත්‍ය කෘති ඇතුළත් බන්ධනාගාර රැඳවියන්ගේ පුනරුත්ථාපනයට සහ මනෝ සංවර්ධනයට දායක විය හැකි පොත් පත් මෙම පුස්තකාල වලට ලබා දිය යුතු බවයි. එසේම මේ මගින් සිරගතව සිටින රැඳවියන් තුළ ඉතාමත් උසස් කෘති බිහිකිරීමට අවශ්‍ය අඩිතාලම වැටෙනු ඇතැයි ද අමාත්‍යවරයා තම විශ්වාසය පළ කළා.

එසේම බන්ධනාගාරගත වී සිටින රැඳවියන් අතර වැඩිවැඩියෙන් පොත්පත් කියවන සහ තමන් කිය වූ කෘති සම්බන්ධව යම් ආකාරයක විචාරයක් ඉදිරිපත් කිරීමේ අවස්ථා ඇති කර ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යවරිය සමග එක්ව සකස් කර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමටත් තමා අදහස් කරන බව ද සදහන් කළා.  

සිරගතව සිට දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිට ඉන් සමත් වූ 19 දෙනෙකු හා ධර්මාචාර්ය විභාගය සමත් වූ දෙදෙනෙකු වෙත අදාළ සහතික පත්‍ර ප්‍රදානය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු වුණා. මෙම අවස්ථාවේ දී වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින රැඳවියන් විසින් රචනා කරන ලද සිපිරි ගේ පාමුල කාව්‍ය සංග්‍රහය දොරට වැඩීම ද සිදු කෙරුණා.

මෙම උත්සව අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සමග බන්ධනාගාර කොමසාරිස් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතා, බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා මෙන් ම අධිකරණ හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *