මෙම උත්සව සමයේ සැමට සතුට පතුරුවාලීමට HNB කැරිටාස් ශ‍්‍රී ලංකා සමඟින් එක්ව ‘Season of Giving’ වැඩසටහන දියත් කරයි

වර්තමානයේ සමස්ත මානව සමාජය තුළම වර්ධනය වෙමින් පවත්නා සමාජ ගැටළුවක්
ලෙස දරිද්‍රතාවය හඳුන්වා දිය හැක. මේ උත්සව සමයේ එම ගැටළුව බොහෝ සෙයින්
ජනතාව මානසිකව විඩාවට පත්කරනු ඇති බවට සැකයක් නැත. ඒ හේතුවෙන් පීඩාවට
පත් පවුල්වල දරු දැරියන්ගේ මානසික තත්වය ඔප් නැංවීම සඳහා ශ‍්‍රී ලංකාවේ
ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කැරිටාස් ශ‍්‍රී ලංකා
(Caritas Sri Lanka) සමඟ අත්වැල් බැඳගනිමින් සිය ප‍්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් app එකක්
වන SOLO හරහා ‘Season of Giving’ නමින් වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේය.
මුදල පාදක කර නොගත්, මනුෂ්‍යත්වය අරමුණු කරගත් සංවිධානයක් මෙන්ම ශ‍්‍රී ලංකා
කතෝලික රදගුරු සම්මේලනයේ සමාජ හස්තයක් වන කැරිටාස් ශ‍්‍රී ලංකා යනු, දිවයින
පුරා පිහිටි රදගුරු පදවි 12 ක් පුරා ප‍්‍රධාන මානව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්
කටයුතු කරන විශාලතම හා වඩාත්ම ගෞරවනීය මානුෂීය සංවිධානයකි.
මෙම වැඩසටහන දියත් කිරීම සංකේතවත් කිරීම වෙනුවෙන් කැරිටාස් ප‍්‍රධාන
කාර්යාලයේදී පැවති විශේෂ උත්සවය කොළඹ සහයක රදගුරු දේව ධර්මාචාර්ය
අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහ HNB ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී, දිල්ශාන්
රොද්‍රිගෝ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර කැරිටාස් ශ්‍රී ලංකා හි ජාතික
අධ්‍යක්ෂ, ගරු ලූක් නෙල්සන් පෙරේරා පියතුමා සහ HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී,
ඩිජිටල් ව්‍යාපාර, චම්මික වීරසිංහ මහතා ඇතුළු HNB ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එයට
සහභාගී විය.


ශ්‍රී ලංකාවේ පවතින වත්මන් සමාජීය විපර්යාස හේතුවෙන් ජනතාව සාමාන්‍ය ආහාර
වේල මගහරිමින් මාස ගණනාවක් තිස්සේ ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟකමින් පීඩා
විඳිමින් සිටී. දරුවන් කුසගින්නෙන් නින්දට යන අතර එය ඔවුන්ගේ සෞඛ්‍යට අහිතකර
ලෙස බලපායි. ළමා කාලය විශේෂ වන අතර සියුම් රැකවරණය සහ උපකාර සඳහා
හිමිකම් ලැබිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කර ඇත. මේ රටේ
අනාගතය ගොඩනගන්නට වෙර දරන දරු පරපුරක් වශයෙන් සෞඛ්‍ය සම්පන්නව සහ
අනාගතය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටීමට දරුවන්ට අවශ්‍ය රැකවරණය සහ
උපකාර ලබා දිය යුතුය. මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ දරුවන් ශ්‍රී ලංකාවේ
සියලූම ප‍්‍රජාවන්ගේ ජීවනාලිය බව හඳුනා ගෙන ඔවුන්ගේ පෞරුෂය සම්පූර්ණයෙන්
සහ සුහදව වර්ධනය කරගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දීම සහ ඔවුන් නිරෝගී පවුල්
පරිසරයක් තුළ සතුට, ආදරය හා අවබෝධය ඇති වාතාවරණයක් තුළ වර්ධනය වීමට
උපකාර කිරීමයි.


මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී, දිල්ශාන් රොද්‍රිගෝ මහතා
පැවසුවේ ”වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ නිසි ආහාර වේලක්
ගැනීමට නොහැකි මෙන්ම සනීපාරක්ෂක සහ නවාතැන් පහසුකම් නොමැති අසරණ
තත්වයට පත් වූ පවුල් සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. දත්ත මගින් පෙන්වා දී ඇත්තේ
දිනකට මිලියන 4.8 ක් පමණ ළමුන්ට මෙම මූලික පහසුකම් සඳහා ප‍්‍රවේශ වීමට පවා

නොහැකි වී ඇති බවයි. මෙම සෑම දරුවෙකුටම අවම මූලික පහසුකම් සඳහා මුදල් හෝ
පහසුකම් නොහැකි වීම නිසා ඒ සඳහා උපකාර කළ හැකි දරුවන්ට අවශ්‍ය පහසුකම්
සැපයීමට අප කැරිටාස් ශ්‍රී ලංකා සමඟින් අත්වැල් බැඳ ගත්තා. මෙම උත්සව සමයේදී
අවශ්‍යතා ඇති අය සඳහා පහසුකම් ලබා දීමට මෙම සත්කාරය සමඟ බොහෝ දෙනෙක්
එක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා” යනුවෙනි.
HNB SOLO හරහා සිදු කළ සියලූම පරිත්‍යාග සහ ගනුදෙනුකාරභවතුන් විසින් සිදු කරන
ලද සෑම ගනුදෙනුවක් සඳහාම බැංකුව විසින් අමතර පරිත්‍යාගයක් ද කැරිටාස් ශ්‍රී ලංකා
ගිණුම වෙත සෘජුවම යවනු ලැබේ. එපමණක් නොව, HNB SOLO app එකේ ඇති Direct Pay
විකල්පය හරහා එම ආයතනය වෙත සෘජුවම පරිත්‍යාගයන් සිදු කිරීමට ද බැංකුව
පහසුකම් සලසා දී තිබේ.
තවදුරටත් අරමුණ පැහැදිලි කරමින් ‘‘නත්තල යනු දීමේ සහ බෙදාහදා ගැනීමේ කාලයයි.
ඔබේ පරිත්‍යාගවල සහාය ඇතිව, දරිද්‍රතාවයෙන් තොර අනාගතයක් නිර්මාණය කිරීමට
දරුවන්ට අවශ්‍ය වන්නේ හොඳ අධ්‍යාපනයක්. බොහෝ දරුවන්ට නැවත පාසලට යාමේ
ඔවුන්ගේ උනන්දුව නැති වී තිබෙනවා. නමුත් ඔබගේ උපකාරයෙන් ඔවුන්ගේ ජීවිතවල
සහ ඔවුන්ගේ ප‍්‍රජාවන් අතර අලූත් වෙනසක් ඇති කිරීමට අවශ්‍ය කරන අධ්‍යාපනය
ලබා දීමට අපට ඔවුන්ට උපකාර කළ හැකියි. ඔබ පරිත්‍යාගයක් කිරීමේදී එයින්
ඔවුන්ගේ අනාගතය වෙනස් කරනවා පමණක් නොව, ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාවලින්
ඔබ්බට බැලීමට ඔවුන්ට උපකාර කරනවා. කිසිවෙකු දුප්පත්ව ඉපදෙන්නේ නෑ. එනිසා
අප සැමට එක්ව දරිද්‍රතාවය නැති කළ හැකියි’’ යනුවෙන් කැරිටාස් ශ්‍රී ලංකා හි ජාතික
අධ්‍යක්ෂ, ගරු ලූක් නෙල්සන් පෙරේරා පියතුමා පැවසුවේය.
මනුෂ්‍යත්වය පෙරටු කරගත් HNB බැංකුව පසුගිය වසරේදී ද හෙල්ප්ඒජ් ශ‍්‍රී ලංකා
සමාගම සමඟින් එක්ව මීට සමාන වැඩසටහනක් දියත් කළේය.
HNB ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා සහ කැරිටාස් ශ‍්‍රී
ලංකා ජාතික අධ්‍යක්ෂ ගරු ලූක් නෙල්සන් පෙරේරා පියතුමා අදාල අවබෝධතා
ගිවිසුම් හුවමාරු කර ගනිමින්. කොළඹ සහයක රදගුරු දේව ධර්මාචාර්ය අතිඋතුම්
මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහ HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ඩිජිටල් ව්‍යාපාර,
චම්මික වීරසිංහ මහතා ද ඡායාරූපයේ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *