කිතුලට පණ දෙන මධ්‍යම පළාත

කිතුල් කර්මාන්තයට පණ පොවමින්, මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ කිතුල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන ප්‍රදර්ශනයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කැන්ඩි සිටි සෙන්‍ටර් ආයතන පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විය.

කිතුල් ආශ්‍රිත ආහාර පාන සහ ගෘහ නිර්මාණ වැනි විවිධ නිෂ්පාදන ඇතුලුත් ව පැවැත්වු මෙම ප්‍රදර්ශනයේදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාවරයා සදහන් කර සිටියේ, අද වන විට සැලකිය යුතු මට්ටමකින් බෝ නොවන රෝග ව්‍යාප්තිය ඉහල ගොස් ඇති බවත්, එලෙස වීමට ප්‍රධානතම සාධකය දේශීය ආහාර රටාවෙන් බැහැරව, විදේශීය ආහාරයන්ට හුරු වීම බවයි. ගෙවත්තේ වගා කරමින්, දෛනික ආහාරයට අවශ්‍ය එළවළු පළතුරු ලබා ගත හැකි වූවත්, විදේශයන්ගෙන් ආහාර එනතුරු බලාසිටින ජාතියක් බවට පත්වීම කණගාටුවට කරුණක් බවත්, නැවත පෙර පැවති ස්වයංපෝෂීත ආර්ථිකය ආරම්භ කිීරීමට කාලය එලඹ ඇති බවත්  ඒ සදහා කිතුල් ආශ්‍රිත නිෂ්පාදනයන් භාවිතා කිරීමේ හැකියාව කෙබදුද මෙම ප්‍රදර්ශනය නිරීක්ෂණය කිරීමේදී ඕනෑම අයෙකුට පසක් වන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ සභාපති තුසිත විජයසේන,  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා, පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ උපාලි රණවක යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *