අභිනවයෙන් ඉදිවූ නාවලකන්ද බුද්ධ මන්දිරය විවෘත කිරීම සහ පිළිම වහන්සේ තැන්පත් කිරීමේ උතුම් පිංකම

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 849-D ග්‍රාම සේවා වසමේ බොදු බැතිමතුන්ගේ ආධ්‍යාත්මික හා සමාජීය දියුණුව සඳහා විශාල අඩුපාඩුවක් ව පැවති බුද්ධ මන්දිරයක අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා නාවලකන්ද සමනල යෞවන සමාජයේ සභාපති පේශල පසන් කරුණාරත්න මහතාගේ මූලිකත්වය යටතේ යෞවන සමාජ තරුණ තරුණියන් ඇතුළුව ප්‍රදේශ වාසීන්ගේ දායකත්වයද ලබා ගනිමින් අභිනව බුද්ධ මන්දිරය ඉදිකිරීමේ කටයුතු  2016.09.04 දිනට යෙදී තිබුණු සුභ මොහොතින් ආරම්භ කරන ලදි.

එලෙස ආරම්භ කළ නාවලකන්ද බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇති අතර අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීම සහ පිළිම වහන්සේ තැන්පත් කිරීමේ උතුම් පිංකම වර්ෂ 2023 මාර්තු මස 06 වන දිනට යෙදෙන මැදින් පුරපසළොස්වක පොහෝ දින ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම උතුම් පිංකම ශ්‍රී විවේකාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති ගරු ඕපාත ඤාණිස්සර හිමිපානන්ගේ ආශිර්වාදයෙන්  පැවැත්වෙන අතර 2023 මාර්තු මස 06 වන දින උදෑසන 6.50 ට පිළිම වහන්සේ රැගත් පෙරහැර මීගහතැන්න ශ්‍රී විවේකාරාම පුරාණ විහාරස්ථානයෙන් (විද්‍යාරාම පිරිවෙන් විහාරස්ථානය) ගමන් ආරම්භ කොට මීගහතැන්න නගරයේ සිට වලල්ලාවිට මාර්ගයේ මද්දේගම, ජම්බුගහහේන හරහා  නාවලකන්ද බුද්ධ මන්දිරය දක්වා ගමන් කොට අභිනවයෙන් ඉදිවූ බුද්ධමන්දිරය තුල පිළිම වහන්සේ තැන්පත්  කිරීමට නියමිතය. එදින පෙ.ව. 10.30ට යෙදෙන සුබ මොහොතින් බුද්ධ මන්දිරය සඳහා මුල් ගල තැබූ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිම වහන්සේ නිරාවරණය සහ බුද්ධ මන්දිරය විවෘත කිරීම සිදුකර සම්බුද්ධ පූජාව පැවත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබේ.

අභිනවයෙන් විවෘත වූ බුද්ධ මන්දිරය අසල සවස්කාලයේදී මොරගහමුල සමාහිත හිමිපාණන් විසින් පවත්වනු ලබන බෝධි පූජා පුණ්‍ය කර්මයෙන් අනතුරුව  කිතුල්විටිගල චන්ද්‍රසිරි හිමිපාණන් විසින් පවත්වනු ලබන සුමධුර කාව්‍යමය ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කොට තිබේ. මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා සහභාගී වන ලෙසට පිං කැමති ඔබ සැමට සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *