ජාත්‍යන්තර මානුෂ්‍යවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනයකිළිනොච්චියේදී සැමරේ….

ජාත්‍යන්තර මානුෂ්‍යවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක්
කිළිනොච්චිය මහ විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පසුගියදා (04) පැවැත්විණ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික
සංවර්ධන හා නිවාස අමාත්‍යංශය, බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය සහ ශ්‍රී
ලංකා යුධ හමුදාව එක්ව මෙය සංවිධානය කෙරිණි. මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල
නිරතව සිටින පිරිස දිරි ගැන්වීම සහ ඔවුන් ඇගයීම මෙහි අරමුණ විය.
සෑම වසරකම අප්‍රේල් මස 04 වනදාට ජාත්‍යන්තර මානුෂ්‍යවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනය
යෙදී ඇත. ඒ වෙනුවෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත පිරිස සම්බන්ධ කර ගනිමින්
විවිධ වූ දැනුවත් කිරීම්, තරග සහ වැඩසටහන් සෑම වසරකම ශ්‍රී ලංකාවේද පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ද මේ වන විට
ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව 2027 වසර අවසන්වන විට මෙරට බිම් බෝම්බවලින් තොර
රටක් බවට පත්කිරීමට සැලසුම් සකස් කර තිබේ. මේවන විට උතුරු හා නැගෙනහිර පළාත්වල
වර්ග කිලෝමීටර 204 කට අධික භූමි ප්‍රමාණයක පුද්ගල නාශක බිමි බෝම්බ ඉවත් කොට සිවිල්
ජනතාව වෙනුවෙන් නිදහස් කර ඇත. තවත් වර්ග කිලෝමීටර 15 කට ආසන්න භූමි ප්‍රමාණයක
බිම් බෝම්බ ගලවා ඉවත් කිරීමට නියමිත බව බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය
සදහන් කරයි.
මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා යුධ හමුදාවේ
සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට්
තරගාවලියක් (පිරිමි) සහ කඹ ඇදීමේ තරගාවලියක් (කාන්තා) මෙහිදී පැවැත්විණ. ක්‍රිකට්
තරගාවලියේ අවසන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වු අතර ඊට සුදුසුකම් ලැබූ කණ්ඩායම්
දෙක සදහා සම ශූරතාවය ලබා දීමට සංවිධායක මණ්ඩලය මෙහිදී තීරණය කෙරිණ. ඒ අනුව ශ්‍රී
ලංකා යුධ හමුදා මානුෂවාදී බිම් වෙඩි ඉවත් කිරීමේ කණ්ඩායමට සහ ඩෑෂ් ආයතනයේ
කණ්ඩායමට සම ශූරතාවය හිමි විය. එමෙන්ම කඹ ඇදීමේ තරගාවලියේ ශූරතාවය හිමි වූයේද
ඩෑෂ් ආයතනයේ කණ්ඩායමටයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නිවාස හා සංවර්ධන) ඩබ්ලිව්.එම්.
ආනන්ද, කිලිනොච්චිය අතිරේක දිස්ත්‍රික් ලේකම් ශ්‍රී මෝහනන්, බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී
ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වී. ප්‍රේමචන්තිරන්, කිලිනොච්චිය උප කාර්යාලයේ
ප්‍රධානී දිල්හාන් ඉද්දමල්ගොඩ, ශ්‍රී ලංකා යුධ හමුදා මානුෂවාදී බිම් වෙඩි ඉවත් කිරීමේ
ඒකකයේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරී (2) මේජර් රජිත අම්බලන්පිටිය යන මහත්වරුන් ඇතුළු
පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *