ත්‍රස්ත විරෝධී පනත අප්‍රේල් අග හෝ මැයි මුල…. • ජාත්‍යන්තරය ත්‍රස්ත පනතට විරුද්ධ නැහැ… • පොලිසියට බලය අවභාවිතා කල නොහැකියි… මහේස්ත්‍රාත් අධීක්ෂණය කරනවා …. • ත්‍රස්තවාදයේ පොඩි හෝ ලොකු කියා දෙයක් නැහැ…. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

  • ත්‍රස්ත විරෝධී පනත අප්‍රේල් අග හෝ මැයි මුල….
  • ජාත්‍යන්තරය ත්‍රස්ත පනතට  විරුද්ධ නැහැ…
  • පොලිසියට බලය අවභාවිතා කල නොහැකියි…  මහේස්ත්‍රාත් අධීක්ෂණය කරනවා ….
  • ත්‍රස්තවාදයේ පොඩි හෝ ලොකු කියා දෙයක් නැහැ….

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් කළේ නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පිළිබදව සිවිල් සංවිධාන හා ප්‍රවාහන වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද පෙරවරුවේ ( 06) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවවක දීය.

නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පිළිබදව සිවිල් සංවිධාන හා ප්‍රවාහන වෘත්තිය සමිති නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධව අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.

මෙම පනත 2015 වසරේදී කෙටුම්පත් කිරීම ආරම්භ කරනු ලැබු බවත්, නව කෙටුම්පත තුළින් ජනාධිපතිවරයා හෝ රජය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, මෙම පනත් කෙටුම්පත ජාත්‍යන්තර පනත් පිළිබදව අධ්‍යනය කර රටේ ජනතාවගේ ජන ජීවිතය හා දේපළ සුරක්ෂිත කිරීමටත්, දැනට පවතින පනතතෙහි ඇති අවභාවිතා වීම් ඉවත් කරමින් රැදවුම් නියෝග නිකුත් කිරීමට ජනාධිපතිට ඇති  බලය නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ලබාදීම සිදු කර ඇති බවත්, අමාත්‍යතුමා පැවසීය.

විශේෂයෙන් දැනට පවතින පනතෙහි රැදවුම් නියෝග නිකුත් කිරීම සදහා බලය ජනාධිපතිට පවතින අතර, එම බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කරමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ලබා දී ඇති බව ද අමාත්‍යතුමා සදහන් කළේය.

නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමනු ලැබුවේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඊට විරුද්ධ අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ඇති අවස්ථාව පහසු කිරීමට හා විපක්ෂය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ, නීතිඥ සංගමයේ මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ ඉල්ලීම සලකා බලා බවත්, මෙම පනත් කෙටුම්පත අප්‍රේල් මස අග සතිය තුළ හෝ මැයි මස මුල සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බවත්, පනත් කෙටුම්පත සම්බන්ධ විරුද්ධ අයට අධිකරණයට යා හැකි අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙනු ලබන තීන්දුව අනුව පනත් කෙටුම්පත සම්මත කිරීමට කටයුතු කරන බවත්, අධිකරණ අමාත්‍යතුමා පැවසීය.

සිංහල අලුත් අවුරුදු නිවාඩුව අප්‍රේල් මස 06 වැනි දින ආරම්භ වන බැවින් නව පනත් කෙටුම්පත අප්‍රේල් මස 04 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුයේ පනතට විරුද්ධ පුද්ගලයින්ට දින 14 ක් තුළ අධිකරණයට යාමට බාධා ඇති බව ද අමාත්‍යතුමා පැවසීය.

මෙම පනත් කෙටුම්පත පිළිබදව විවේචන ඉදිරිපත් කරනු ලබන අය සංශෝධනය විය යුතු ආකාරය සම්බන්ධව සදහන් කරමින් අදහස් පළ කිරීම සිදු කළ යුතු බවත්, දේශපාලන කුහකකම් මත අදහස් පළ කිරීම සිදු නොකර සාධාරණ විවේචන ඉදිරිපත් කිරීම සිදු කිරීම වැදගත් බවත්,මේ පනතේ එකම අරමුණ මේ රටේ ජනතාවගේ ජීවිත දේපල සුරක්ෂිත කරමින් ආරක්ෂිත රටක් නිර්මාණය කිරීම බව ද අමාත්‍යතුමා සදහන් කළේය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් කිසිදු විරුද්ධත්වයක් මෙතෙක් එල්ලව නොමැති අතර, නව පනතක් සකස් කිරීම හෝ පවතින පනතට සංශෝධන ගෙන එන ලෙස ජාත්‍යන්තරය ඉල්ලීම් සිදු කර ඇති බැවින් ඒ අනුව නව පනත් කෙටුම්පත සකස් කළ බව ද හෙතෙම පැවසීය.

ත්‍රස්ත විරෝධි නව පනත් කෙටුම්පත සකස් කිරීම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතිඥ නෙරින් පුල්ලේ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගේ සභාපතිත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නීතිඥයින් විසි දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් මාස කිහිපයක් තිස්සේ අධ්‍යනයන් සිදු කරමින් සකස් කර ඇති අතර, නීතිඥ ප්‍රජාවගේ සිවිල් සංවිධානවල ඉල්ලීම පරිදි සංශෝධන සිදු කිරීම සදහා අවශ්‍ය යෝජනා ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ද අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.

රැදවුම් නියෝග නිකුත් කිරීමේ ජනාධිපතිවරයා සතු බලය නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලබාදීම තුළින් පොලීසියට විශේෂ බලයක් ලබාදීම මගින් අවභාවිතා වීමක් සිදුවන බවට චෝදනා කරන  බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් අත් අඩංගුවට ගන්නා පුද්ලයින් පැය 48 ක් ඉක්ම යාමට පෙර මහෙස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කළ යුතු අතර, නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් අදාළ පුද්ගලයින් සම්බන්ධව කරනු ලබන චෝදනා සම්බන්ධව පරීක්ෂා කිරීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරුන් විසින් කටයුතු කරනු ලබන බවත්, රැදවුම් භාරයේ සිටින පුද්ගලයින් දින 14 කට වරක් අධිකරණයට ඉදිරිපත් කළ යුතු අතර ඔවුන් පිළිබදව සොයා බැලීමට මානව හිමිකම් කොමිසමට නව පනත් කෙටුම්පත තුළින් අවස්ථාව ලබා දී ඇති බවත්, අමාත්‍යතුමා පවසන ලදී.

මෙම නව පනත් කෙටුම්පත තුළින් වෘත්තිය සමිති හෝ මාධ්‍ය ක්‍රියාකාරකම් මර්දනය වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සදහන් කළ අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේ කිසියම් පුද්ගලයෙකුට ත්‍රස්තවාදියෙකු වන්න බලා පොරොත්තුවක් නොමැති නම් මෙම පනත් කෙටුම්පතට විරුද්ධ විමේ අවශ්‍යතාවයක්  නොමැති අතර ත්‍රස්තවාදයේ පොඩි හෝ ලොකු භේදයක් නොමැති බැවින් ත්‍රස්තවාදය යනු ත්‍රස්තවාදය බවයි.

ත්‍රස්තවාදය මර්දනය කිරීම සාමාන්‍ය නීතිය යටතේ සිදු කළ නොහැකි බැවින් ඒ සම්බන්ධව සුවිශේෂි නීතියක් අවශ්‍ය බවත්, තවදුරටත් සිවිල් සංවිධාන අදහස් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින බවත්, සිවිල් සංවිධාන නියෝජනය කරමින් අදහස් පළ කළ මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය. ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ආචාර්ය ජෙහාන් පෙරේරා, සාධාරණ සමාජයක් සදහා වු ජනතා ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් පළ කළේය.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සමස්ත ලංකා ත්‍රිවිල් රථ හිමිකරුවන්ගේ සංගමය, දුම්රිය සේවක සංගමය, පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ඇතුළු ප්‍රවාහන සංගම් නියෝජනය කරමින් නියෝජතයින්අධිකරණ අමාත්‍යතුමා සමග සාකච්ඡාවක් පැවති අතර නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පිළිබදව අමාත්‍යතුමා විසින් ඔවුන් දැනුවත් කරන ලදී.

නව පනත් කෙටුම්පත තුළින් වෘත්තිය සමිති මර්දනය වන බවට කිසිදු සදහනක් නොමැති බවත්, මේ පනත රටට ජනතාවට අත්‍යවශ්‍ය පනතක් බවත්, කිසිදු පදනමක් නොමැතිව ඇතැම් පිරිස් චෝදනා එල්ල කරන බවත්, ජනතාවගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි පනත් අත්‍යවශ්‍ය බවත් ප්‍රවාහන සංගම් නියෝජිතයින් මෙහිදී පැවසීය.

අධිකරණ අමාත්‍යතුමා සමග පැවති සාකච්ඡාවෙන් පසුව නව පනත් කෙටුම්පත පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා ගත් බව ද ඔවුන් සදහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *