ශිෂ්‍යත්ව – උ.පෙ. විභාග දීමනා තවම ගෙවලා නෑ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ අර්බුදය, අමාත්‍යාංශයේ නොහැකියාව හා බුද්ධිය පිළිබඳ ගැටළුවකි

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව පිළිබඳ ප්‍රශ්නය විසඳීමට ඇති නොහැකියාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නොහැකියාව හා බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙමින් ඇත.  සිසුන් ලක්ෂ 12 ක් විභාග, අධ්‍යාපනය, උපාධි නැතුව පාසලට, මහපාරට ඇද දමන්නට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර ගැටුම හේතු වී ඇතැයි මන්ත්‍රීනි රෝහිණී කවිරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

උසස් පෙළ විභාගය අවසන්වී මාස දෙකක් ගතවී ඇති නමුත්, මේ දක්වා විභාග ශාලාවන්හි සේවය කළ ගුරුවරුන් දීමනා ගෙවා නැත. 

පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඑල නිකුත් කර ඇති නමුත්, ඒවායේ උත්තර පත්‍ර පරීක්ෂා කිරිම වෙනුවෙන් ගුරුවරුන්ට හිමි දීමනාව ගෙවා නැත.

ශිෂ්‍යත්ව විභාගයේ සහ උ.පෙ. විභාග ශාලා දීමනා නොගෙවීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කෙරෙහි ගුරුවරුන්ගේ ඇති විශ්වාසය බිඳවැටීම, උ.පෙ. පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන් අයඳුම් නොකිරීමට ප්‍රධානතම හේතුවයි. අවම වශයෙන් විභාග කටයුතු සඳහා විශ්‍රාමික ගුරුවරුන්ට ආරාධනා කිරීමට හෝ අධ්‍යාපන අමාත්‍යාංශය නම්‍යශීලිවී නැත.   නිසි නායකත්වයක් නොමැතිව, අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපාලනය මේ වන විට බිඳවැටෙමින් තිබේ.  අධ්‍යාපන අමාත්‍යවරයා තම නිලධාරීන්ට අසාර්ථකත්වයේ වගකීම පවරමින් ඇඟ බේරා ගැනීමට උත්සහ දරමින් සිටී.  

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන් ඉදිරිපත් නොවන්නේ පසුගිය විභාග දෙකකම ගුරුවරුන්ගේ දීමනා ගෙවා නොමැතිවීම අධ්‍යාපන අමාත්‍යාංශය රටටම වසන් කරමින් සිටී.

අනෙක් අතට, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් කණ්ඩායමක් උත්තර පත්‍ර පරීක්ෂා කිරීම කඩාකප්පල් කරන්නේ නම් එයට විකල්ප පියවර ගැනීම රජයේ වගකීමකි.  උ.පෙ. උත්තර පත්‍ර සලකුණු කිරීමේ නිර්ණායක සැකසීම විභාග දෙපාර්තමේන්තුවේ කාර්යයක් මිස විශ්වවිද්‍යාල වෘත්තීය සමිතියක කාර්යයක් නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා තේරුම් ගත යුතුව ඇත. 

සා.පෙ. විභාග තියන්නත් බෑ

2022 වසර සා.පෙ. විභාගය පැවැත්වීම දින නියමකර ගත නොහැකිව ඇත්තේ උත්තර පත්‍ර ගබඩා කිරීමට දෙපාර්තමේන්තුව සතුව ඉඩ කඩ නොමැතිවීම නිසා ය.  මෙහි ප්‍රතිඑලයක් ලෙස සා.පෙ. දින නියමයක් නොමැතිව කල් දැමීම හැර වෙනත් විකල්පයක් විභාග දෙපාර්තමේන්තුවට මේ වන විට ඉතිරිවී නැත.

2022 අගෝස්තු මස පැවැත්වීමට තිබූ පසුව ප්‍රමාදවී පැවැත්වු උ.පෙ. විභාගයේ ප්‍රතිඑල මත, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතනය හා එක්වීමට සිටි ලක්ෂයකට වැඩි පිරිසකට ලියාපදිංචිවීමේ අවස්ථාව මේ වන විටත් ඇහැරී ඇත.

2022 සා.පෙ. ප්‍රතිඑල මත දෙස් විදෙස් ආයතනයන් හි උසස් අධ්‍යාපනයට යොමුවීමට බලා සිටින සිසුන් ලක්ෂ 2 ක් පමණ වේ. මේ වසරේ ජූනී මස වන විට ප්‍රතිඑල සහතික ලබා ගත නොහැකි නම් ඔවුන්ට ද ජාත්‍යන්තර ආයතනයන් හි මේ වසර සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි වන්නේය. සා.පෙ. ප්‍රතිඑල මත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් අවු. 21 දී උපාධියක් ලබා ගත හැකි නමුත්, දේශීය රජයේ විශ්විවිද්‍යාලයක ප්‍රථම උපාධිය ලබා ගැනීමට වසර 27ක් ගතවේ.    

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට ඇති නොහැකියාව හේතුවෙන් දේශීය විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම වසරකට ආසන්න කාලයකින් ප්‍රමාද වන්නේය.  තවද, 2022 සා.පෙ. විභාගයට මැයි මාසය තුල හෝ පැවැත්වීමට නොහැකි වන්නේ නම්, විභාග කාල රාමුව මුලුමනින්ම අවුල් වී, 2026 හෝ 2027 වසර දක්වා දිග් ගැසෙන ප්‍රමාදයක් නිර්මාණය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *