යුද්ධයටත් වඩා භයානක අභියෝගයක් වන මත් උවදුරින් වත්මන් දරු පරපුර බේරා ගැනීමට සිදුව තිබෙනවා.

  • යුද්ධයටත් වඩා භයානක අභියෝගයක් වන මත් උවදුරින් වත්මන් දරු පරපුර බේරා ගැනීමට සිදුව තිබෙනවා.
  • ජාති ආගම් වශයෙන්  වෙනස්කම් පැවතියද අවශ්‍ය වන්නේ අනන්‍යතාවයන් ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලාංකිකයින් වශයෙන් ජීවත් වීමයි.
  • අපේ ජීවිත කාලයේ ලැබු අමිහිරි අත්දැකීම්, එහෙත් අපි  අනාගත පරපුරට ඉතිරි කළ යුතු නැහැ.

                                         අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැවත පැමිණ නැගෙනහිර පළාතේ පදිංචි ජනතාවට හා පළාතේ සෙසු ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු විසදීම සදහා 2023 මැයි මස 26 සහ 27 දෙදින තුළ පැවැත්වෙන විශේෂ ජංගම සේවයේ පළමු දින වැඩ සටහන ආරම්භ කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ අද පෙරවරුවේ (26)  පැවති සමාරම්භක උත්සවය අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.

යුද්ධය අවසන් වෙලා වසර 14 ක් ගත වෙලා. යුද ගැටුම් හේතුවෙන් අපේ රටේ සියලු ජනතාව පීඩා වින්දා. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාතේ ජනතාව වැඩි වශයෙන් අපහසුතාවයට පත් වුණා. 2015 වසරේදී අපි අතුරුදහන් වු පුද්ගලයින් සදහා වු කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය, සාමය ප්‍රතිසන්ධානය හා සංහිදියාව සදහා වු කාර්යාලය ස්ථාපිත කරමින් උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු විසදීමට කටයුතු කළා. වසර තිහක කාලයක් පැවති යුද්ධය හේතුවෙන් ඉන්දියාව ඇතුළු රටවලට ගොස් නැවත පැමිණි ජනතාවට ඉඩම් පිළිබදව ගැටළු ඇති වුණා. ඒ් සදහා ඉඩම් පිළිබදව විශේෂ සමථ මණ්ඩල උතුරු නැගෙනහිර පළාත් දෙක සදහා හදුන්වාදීමට කටයුතු කළා. එම සමථ මණ්ඩල තුළින් එම පළාත් දෙක තුළ ඉඩම් පිළිබදව වු ගැටළු සීයයට 70 කට විසදුම් ලබා දුන්නා. උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් ගැටළු විසදීම සදහා වසර 200 කටත් වඩා පැරණි කාලාවරෝද වැනි පනත් සංශෝධනය කිරීමට අපි කටයුතු කළා. යුද්ධයෙන් පසුව උතුරු සහ නැගෙනහිර පළාත් දෙක තුළ සියලු අධිකරණ ගොඩනැගිලි නවීන පහසුකම් සහිතව ඉදි කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

වව්නියාව සහ ත්‍රිකුණාමලය විශ්ව විද්‍යාල මණ්ඩප සදහා නවීන පහසුකම් ලබා දීමට ක්‍රියා කළා. අපි පසුගිය කාලයේ උතුරු පළාතට ගියා. එහිදී යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැවත පැමිණි ජනතාවට ගැටළු පවතින බව අපි හදුනා ගත්තා. ඒ් ප්‍රශ්න පිළිබදව කවුරුත් කථා කළේ නැහැ. ඉන්දියාවට ගොස් නැවත පැමිණි ඒ් ජනතාවගෙන් බොහොමයකට ශ්‍රී ලාංකිකයින් බවට ඔප්පු කරන්න කිසිදු ලියවිල්ලක් තිබුණේ නැහැ. ඇතැම් අයගේ දරුවන් ඉන්දියාවේ අධ්‍යාපන ආයතනවල ඉගෙන ගෙන නැවත පැමිණ තිබුණත් ඔවුන්ගේ ඒ අධ්‍යාපන සහතික පිළිගන්නා තත්වයක් තිබුණේ නැහැ. අපි උතුරු පළාතේ යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් ජංගම සේවාවන් පහක් පැවැත්වුවා. ඒ් තුළින් එම පළාතේ ජනතාවගේ ගැටළු සීයයට 90 කට වඩා විසදුම් ලබාදීමට හැකි වුණා. මෙම ජංගම සේවා වැඩ සටහන් සාර්ථකව සිදු කිරීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් ලබා දෙන සහයෝගය අගය කරනවා .මේ රටේ ජනතාව කුමන ආගමක් ඇදහුවත්, කුමන ජාතියකට අයත් වුවත් කුමන ප්‍රදේශයක ජීවත් වුණත් ඒ් සියලු දෙනාට සමාන වු අවස්ථාවන් පැවතිය යුතුයි. අපි අතර ජාති ආගම් වශයෙන්  වෙනස්කම් පැවතියත් අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකිකයින් වශයෙන් අනන්‍යතාවයන් ආරක්ෂා කර ගනිමින් ජීවත් වීමයි. ජාතික ආගමික සමගිය ඇති කරමින් ඉදිරියට යාමේදී දේශිය විදේශිය වශයෙන් විවිධ බාධාවන් පැමිණෙනවා. විවිධ ආයතන, සංවිධාන. ප්‍රදේශවල පමණක් නොවෙයි ජාතීන් අතරත් අන්තවාදී පිරිස් ඉන්න පුළුවන්. අපේ රටේ දේශපාලඥයින් අතරත් ඒ් වගේ ඇතැම් අය ඉන්නවා. අපි ඒවා බාධාවන් විදිහට සැලකිය යුතු නැහැ. අපි ඒ සියලු අභියෝග භාර ගෙන ජනවාර්ගික සමගිය ඇති කිරීමට කටයුතු කළ යුතුයි. අපි ජාතික සමගිය ආරක්ෂා කර නොගතහොත් අපේ ජීවිතවලට වගකියන්න කෙනෙක්  නැති වෙනවා. අපේ ජීවිත කාලයේ අපි වැඩි වශයෙන් විදලා තියෙන්නේ අමිහිරි අත්දැකීම්. එහෙත් අපි ලැබු ඒ අත්දැකීම් අපේ අනාගත පරපුරට ඉතිරි කළ යුතු නැහැ.අපේ රටේ ප්‍රශ්න අපේ පරම්පරාවෙන් විසදමින් අනාගත දරු පරපුරට සුභවාදී රටක් ඉතිරි කිරීමට අපි කටයුතු කළ යුතුයි. රට තුළ ජාතික සමගිය ආගමික සුහදත්වය ගොඩ නැංවීම වෙනුවෙන් අපි ප්‍රාදේශිය හා ජාතික මට්ටමින් වැඩ සටහන් රාශියක් දියත් කර තිබෙනවා. සාමය හා සංහිදියාව සදහා වු කාර්යාලය ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් කළා. ගමේ ආරක්ෂාව ආගමික සුහදත්වය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සංහිදියා කමිටු පිහිටුවීමට කටයුතු කළා. තිස් වසරක් පැවති යුධ තත්වයටත් වඩා භයානක අභියෝගයකින් වන මත් ද්‍රව්‍ය උවදුරින් වත්මන් දරු පරපුර බේරා ගැනීම සදහා අපිට කටයුතු කරන්න වෙලා තියෙනවා.අයිස් හෙරොයින් වැනි විෂ මත් ද්‍රව්‍ය පාලනය කිරීම සදහා නව නීති සම්පාදනය කළා. යම්කිසි පුද්ගලයෙක් අයිස් සදහා ඇබ්බැහි වුවහොත් වසර දෙකක් වගේ කාලයක් තුළ මිය යන බව සදහන් වෙනවා. ඒ්නිසා දරුවන්ගේ අනාගතය සුරක්ෂික කිරීමේ වගකීම දෙමාපියන් සතු වගකීමක් වන බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කලේය.

මේ අතර,සියලු ජාතීන්ගේ සංස්කෘතික අනන්‍යතාවට සුරකින සාමය හා සහෝදරත්වය සවිබල ගැන්වෙන සමෘද්ධිමත් ශ්‍රී ලාංකේය ජන සමාජයක් ගොඩ නැංවීම අරමුණු කරමින් ශ්‍රි ලංකාවේ සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සෑම පලාත් ලේකම් කාර්යාලයකදීම එකම දින එකම වේලාවක ප්‍රදර්ශනය සහ කතිකාවට ලක් වෙන ජාතික සමගිය යළි සමාලෝචනය කෙරෙන සිනමා සම්ප්‍රාප්තිය වැඩ සටහන ආරම්භ කරමින් පළමු චිත්‍රපට ප්‍රදර්ශනය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද පෙරවරුවේ (26) ආරම්භ වු අතර, එහිදී කාශ්මීර අර්බුදය සමග සාම්ප්‍රදායික පණ්ඩිත් ජනතාව මුහුණ දෙන වාර්ගික අර්බුදයේ ඛේදවාචකය තේමා කරමින් අධ්‍යක්ෂණය කර ඇති SHIKARA හින්දි චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණි.

මෙම චිත්‍රපට ප්‍රදර්ශනය ජූනි මස 15 වැනි දින සිට සෑම මසකම 15 වැනි දින සියලු දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.

විශේෂ ජංගම සේවයේ පළමු දින වැඩ සටහන ආරම්භ කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති සමාරම්භක උත්සවය අවසන් වීමෙන් පසුව ජංගම සේවා කුටි නිරීක්ෂණය කිරීමට ද අධිකරණ අමාත්‍යතුමා එක් විය.

අධිකරණ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව, සමථ මණ්ඩල කොමිෂන් සභාව, අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලය, සාමය සංහිදියාව සහ ප්‍රති සන්ධානය සදහා වු කාර්යාලය, පළාත් ඉඩම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් ජංගම සේවා කුටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ක්‍රියාත්මක විය.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.පී.එස්.සමන් කුමාරී මහත්මිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් බී.එච්.එන්.ජයවික්‍රම මහතා ද මෙහිදී අදහස් පළ කළ අතර, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ආර්.එස්.හපුගස්වත්ත, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.බී.ගනේගල  යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ජංගම‌ සේවාව සදහා පැමිණි මහ ජනතාව මෙම අවස්ථාවට එක් වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *