කිසිදිනයක ප්‍රජාතන්ත්‍රවාදීව බලයට ඒමට නොහැකි අය  ජනතාවගේ සිත්තුළ වෛරය වපුරා කුමන්ත්‍රණ මඟින් බලයට එන්න උත්සාහ ගන්නවා…

  • කිසිදිනයක ප්‍රජාතන්ත්‍රවාදීව බලයට ඒමට නොහැකි අය  ජනතාවගේ සිත්තුළ වෛරය වපුරා කුමන්ත්‍රණ මඟින් බලයට එන්න උත්සාහ ගන්නවා…
  • අරගලයෙන් යම් රැල්ලක් හදාගත් එවැනි පිරිස් මේ වනවිට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා…
  • හොඳ ශක්තිමත් අත්තිවාරමක් උඩ හැදූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අර්බුධ මැදින් නැවත ශක්තිමත්ව නැඟී සිටිනවා…
  • එල්.ටී.ටී.ඊ එකත් එක්ක යුද්ධ කරපු නායකයා තමන්ගේ ගෙට ගිනි තියනකොට නිහඬව හිටියේ ඇයි කියල අපි හිතන්න ඕන…
  • අපේ නායකයෝ ජනතාව වෙනුවෙන් වැඩ කරපු අය… (ඇමති ප්‍රසන්න රණතුංග )
  • අපි තවම දුෂ්කර ගමනේ යම් කොටසක ගමන් කරමින් ඉන්නවා…
  • ගෝඨාභය ජනාධිපතිතුමා බලයට එද්දිත් මේ අර්බුදය උච්චතම අවස්ථාවට ඇවිත් තිබුණා…
  • පසුගිය වසර තුළ අපිට ගන්න වුණු තීන්දු ජනප්‍රිය තීන්දුත් නෙමෙයි…
  • ගෝඨාභය ජනාධිපතිතුමා ගත්ත හොඳම හා නිවැරැදිම තීන්දුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගමැතිවරයා බවට පත් කිරීමයි.. (ඇමති කංචන විජේසේකර )
  • අපි ඉන්නෙ ඕන රට ගොඩගන්න දේශපාලන න්‍යායපත්‍රයෙයි…
  • අරගලයට නායකත්වය දුන්න සංවිධාන අටකට පිටරටින් ඇමරිකානු ඩොලර් බිලියන 8ක මුදලක් ලැබිලා…
  • ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අන්තවාදීන් එක්ක කටයුතු කරන ත්‍රස්තවාදී සංවිධානයක්…
  • ඩලස් අලහප්පෙරුම අපෙන් ඡන්දය අරගෙන සජිත් එක්ක සන්ධාන ගහගත්තා. ඒක තමයි ඔහු කරපු ලොකුම වැරැද්ද… (පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ –)

කිසිදිනයක ප්‍රජාතන්ත්‍රවාදීව බලයට ඒමට නොහැකි අය  ජනතාවගේ සිත්තුළ වෛරය වපුරා කුමන්ත්‍රණ මඟින් බලයට එන්න උත්සාහ ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ අරගලයෙන් යම් රැල්ලක් හදාගත් එවැනි පිරිස් මේ වනවිට ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එමෙන්ම හොඳ ශක්තිමත් අත්තිවාරමක් උඩ හැදූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අර්බුද මැදින් නැවත ශක්තිමත්ව නැඟී සිටින බවද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන බලමණ්ඩල රැස්වීමට පෙරේදා (18) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේද පැවසීය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2015 මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව ආරම්භ වුණ පක්ෂයක්. මහින්ද රාජපක්ෂ මහතා ගැන අපි අලුතෙන් කතා කරන්න දෙයක් නැහැ. තිස් අවුරුදු යුද්ධය ඉවර කරලා බියෙන් සැකයෙන් තොරව ජීවත්විය හැකි වාතාවරණයක් ඇති කළා විතරක් නෙවෙයි අධිවේඟී මාර්ග හදල රට සංවර්ධනය කරපු නායකයෙක්.

මේ පක්ෂය හොඳ අත්තිවාරමක් උඩ හදපු ගොඩනැඟිල්ලක්. අපිට හොඳ සාමාජිකයන් පිරිසක් ඉන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝග කරන්න පුළුවන් වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් අද නැහැ.  මේ පක්ෂයේ නායකත්වය විනාශ කරන්න අරගලකරුවන් කටයුතු කළේ ඒ නිසයි. අපි 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කෙරෙව්වෙ විශාල බළාපොරොත්තුවකින්. පාර්ලිමේන්තු මැතිවරණයේදි තුනෙන් දෙකේ බලයක් අපිට ලබාදුන්නා. අවාසනාවට කොවිඩ් වයිරසය නිසා මුළු ලෝකයේම ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒ අභියෝගයට මුහුණ දෙන්න අපිටත් සිදුවුණා. එදා අපිට අත්දැකීම් තිබෙන ඇමති මණඩලයක් තිබුණා. නමුත් විදුලිය කපනකොට, ඉන්ධන පෝලිම් හැදෙනකොට ඒවට විසඳුම් ලබාදෙන්න ඒ ඇමතිවරුන්ට පුළුවන්කමක් තිබුනේ නැහැ.

ආර්ථික අර්බුධය නිසා මිනිස්සු පීඩාවට පත්වෙනකොට පසුගිය වසරේදි අපේ පක්ෂය විශාල කුණාටුවකට හසුවුණා. පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයෙක් ඝාතනය වුණා. මහජන නියෝජිතයන්ගේ නිවාස ගිනිතිබ්බා. පාක්ෂිකයන්ට නොයෙකුත් කරදරවලට මුහුණ දෙන්න වුණා. මේව වෙනකොට බොහෝ දෙනෙක් විශ්වාස කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දියවෙලා යයි කියල. නමුත් අදටත් මේ රටේ තිබෙන ශක්තිමත්, සංවිධානාත්මකම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

පසුගිය වසරේදි ඔබ පත්කළ ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත්වුණා. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකමින් ඉවත්වුණා. ඇමති මණ්ඩලය ඉවත්වුණා. ඊට පස්සේ අපිට ඕන වුනේ 69 ලක්ෂයේ ජනතා අවශ්‍යතාවයන් ඉටුකළ හැකි ආණ්ඩුවක් පිහිටුවන්නයි. ඒ අනුව රට ගොඩගන්න පුළුවන් නායකයෙකුට අපි ආරාධනා කළා. බොහෝ නායකයන් ආරාධනාව පිළිගත්තේ නැහැ. නමුත් පසුව රනිල් වික්‍රමසිංහ මහතාට රටේ නායකත්වය භාර දෙන්න පක්ෂය තීරණය කළා. විරුද්ධ දෙගොල්ලක් එකට එකතුවෙලා මොකද්ද කරන්නෙ කියල බොහෝ දෙනෙක් අහනවා.

අපි රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහය දෙන්නේ 69 ලක්ෂයේ ජනතා බළාපොරොත්තු ඉටු කරන්නයි. එදා රනිල් වික්‍රමසිංහ මහතාට උදව්කරන්න ගත් තීන්දුව සම්බන්ධයෙන් මම අද සතුටට පත්වෙනවා. එතුමා අභියෝගය භාර අරගෙන රට ගොඩනගයි කියල අපි එදා හිතුවා. වැටිල තිබුණ රට ගොඩ ගන්න ගත්තු සමහර තීන්දු ජනප්‍රිය තීන්දු වුණේ නැහැ. නමුත් ඒවා ඉතාම හොඳ තීන්දු තීරණ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදීව, අවිහිංසකව කටයුතු කරන්න ගිහිල්ලා අන්තිමට එතුමට ජනාධිපති තනතුරෙන් යන්න වුණා. එල්.ටී.ටී.ඊ එකත් එක්ක යුද්ධ කරපු නායකයා තමන්ගේ ගෙට ගිනි තියනකොට නිහඬව හිටියේ ඇයි කියල අපි හිතන්න ඕන. අරගලකරුවන් ප්‍රයෝජනයට ගත්තේ මෙන්න මේවා.

අරගලකරුවන් මිනිස්සුන්ගේ ඔළුවට වෛරය හා කුහකත්වය දැම්මා.පහුගිය කාලේ පාරවල් හදනකොට ප්‍රචාරයක් යැව්වා සියයට 10ක් කොමිස් ගන්නව කියල. මේ කතන්දර නිසා අපේ මන්ත්‍රීවරුන් සංවර්ධන කටයුතුවලින් ඈත්වෙන්න ගත්තා. නාකි මයින කියල රාජපක්ෂ විරෝධය මතුකළා. කොරෝනා නිසා අපිට අවුරුදු දෙකක් වැඩ කරන්න බැරිවුණා. එදා අපිට සිදුවුණේ මිනිස්සුන්ගේ ජීවිත බේරා ගැනීමේ සටන් කරන්නයි. අපේ නායකයෝ ජනතාව වෙනුවෙන් වැඩ කරපු අය. ආර්ථික අර්බුධයට අපි මුහුණ දෙන්න පටන්ගන්න කොටම කැරැල්ල පටන් ගත්තා.

නමුත් කෙටි කාලයක්තුළ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතුවෙලා රට නැවත යාවත්කාලීන කරල, ජනතා බළාපොරොත්තු ඉටුකරන්න පුළුවන්වීම ගැන අපි අද සතුටට පත්වෙනවා. කුණාටුවකට අහුවුණාම මහ ගස් නැවත කෙලින් වෙනවා. අපි කුණාටුවට අහුවුණා. අපි නැවත වතාවක් ශක්තිමත්ව නැඟී සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවිහිංසාවාදී පක්ෂයක්. 88/89 භීෂණ යුගය වැඩිහිටියන්ට මතක ඇති. හැන්දෑවේ හය වෙනකොට පාරවල් වහනවා.හැඳුනුම්පත් මංකොල්ල කාපු අය අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරනවා.

 සියයට තුනක් සාමාජිකයන් ඉන්න, ප්‍රජාතන්ත්‍රවාදයෙන් බලයට එන්න බැරි අය කුමන්ත්‍රණ මඟින් බලයට එන්න හදනවා. ඒ අය ජනතාව දැනටමත් ප්‍රතික්ෂේප කරල ඉවරයි. අරගලයෙන් යම් රැල්ලක් හදාගන්න හැදුවත් දැන් ඒ රැල්ල වැල්ලට යටවෙලා ඉවරයි.

ජනතාව නැවත පොහොට්ටුව වටා එකතුවෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ශක්තියක් වෙන්න කටයුතු කරනවා. අපි කවදාවත් 69 ලක්ෂයේ ජනවරම අපි කවදාවත් පාවා දෙන්නේ නැහැ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේ පැවසීය.

පසුගිය කාලය තුළ අපි ඉතාම දුෂ්කර කාලයක් ගත කළේ. තවම දුෂ්කර ගමනේ යම් කොටසක් අපි ගමන් කරමින් ඉන්නේ. මීට වසරකට පෙර අපි සියලු දෙනාම පැය 12 ක පැය 14 ක විදුලි කප්පාදුවකට මුහුණ දුන්නා. අපි දවස් දෙක තුන ඉන්ධන, ගෑස් පෝලිම්වල හිටියා. එදා අපිට ගන්න කිරිපිටි ඇතුළු අත්‍යාවශ ආහාර වෙළදපොළේ තිබුණේ නැහැ. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැමෝම මේකට මුහුණ දුන්නා. ගෝඨාභය ජනාධිපතිතුමා නිසා මේක වුණා කියලා එක මතයක් ඇති වුණා.

ඒක නෙමෙයි සත්‍යය කතාව. ගෝඨාභය ජනාධිපතිතුමා බලයට පත් වන්නේ 2019 අවසාන කාලයේදි. 2020 මාර්තු මාසයේ රට කොවිඩ් අර්බුදයට මුහුණ දෙනවා. රට මාස කිහිපයක් වහනවා. 2020 මාර්තු මාසයේ කොවිඩ් නිසා රට වැහුවේ නැතිනම් අපේ රටේ විදුලි කප්පාදුව පටන් ගන්නේ 2020 මාර්තු මාසයේ. රට වහපු නිසා කොවිඩ් අර්බුදයට විදුලි ඉල්ලුම අඩුවුණා. රජයේ කාර්යාල, කර්මාන්තශාලා, පාසල් වහලා තිබුණා. ගෝඨාභය ජනාධිපතිතුමා බලයට එද්දිත් මේ අර්බුදය උච්චතම අවස්ථාවට ඇවිත් තිබ්බේ. පිපුරුවේ නැති එක විතරයි. ඒක පුපුරලා ගියේ කොවිඩ් අර්බුදයෙන් රට විවෘත කරාට පස්සේ. කොවිඩ් නිසා රටේ ආර්ථිකය හැකිලුණා. අපේ රට විතරක් නෙමෙයි, ලෝකයේ ප්‍රභල රටවල් සියල්ලම ඊට මුහුණ දුන්නා. 2014 අවසාන කාලයේ සිට විදුලි ජනන පද්ධතිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි අපිට පැය 1214 ක විදුලි කප්පාදුවකට යන්න වුනේ.

නොරොච්චේලේ බලාගාරය විවෘත කරාට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටට කිවුවා විදුලි බිල 25% කින් අඩු කරනවා කියලා. එම ප්‍රතිලාභය ජනතාවට දුන්නා. එතුමගේ තව සැලැසුමක් තිබුණා, සාම්පූර් බලාගාරය ඉදිකරන්න. ඒක ඉන්දියාවේ පරිත්‍යාගයක්ත මෙගාවොට් 500 ක් එකතු කරන්න තිබ්බේ. නමුත් මොකද වුනේ. 2015 දී ආණ්ඩු මාරු වුණාට පස්සේ ජවිපේ ලාල් කාන්තලා ගිහින් කිවුවා මේක ඉදිකළොත් පරිසර විනාශයක් සිදු වෙනවා කියලා. මේක ඉදිකරන්න දෙන්නෑ කිවුවා. ඔවුන් ආණ්ඩුවට බලපෑම් කළා. ඒ ආණ්ඩුවට ඔවුන් ජවිපෙ උදව් කරපු නිසා උසාවියට ගිහින් ආණ්ඩුව කිවුවා අපි සාම්පූර් ඉදිකරන්නේ නැ කියලා. ඒ වෙනුවට විකල්පයක් දුන්නෙත් නැ. 2105 න් පස්සේ අපේ රටේ බලාගාර ඉදිවුණේ නැහැ. එයයි යථාර්තය.

2005 මහින්ද ජනාධිපතිතුමා බලයට පත් වෙද්දි රටේ විදුලිය දීලා තිබුනේ 30% යි. ගෙවල් 10 ක් ගත්තොත් ගෙවල් 3කට පමනයි විදුලිය තිබ්බේ. ඒක 2015 වනවිට 100% ක් කළා. එදා රට තුළ බලාගාර ඉදිකළා. නමුත් ඒවා 2015 න් පසුව අඛන්ඩව ක්‍රියාත්මක වුණේ නැහැ. පසුගිය වසරේ විදුලි කප්පාදුවට හේතු වුනේ ජනන සැලසුම ක්‍රියාත්මක නොවීමයි. මට ලබා දුන්න අමාත්‍යංශය නිසා තමයි රටේ අරගල ඇති වුණේ. විදුලිය නැහැ, ඉන්ධන නැහැ. අපේ සංචිත පාවිච්චි කරලා දීර්ඝකාලීන සැලසුම්වලට යන්නේ නැතුව තිබුණු මුදල් සියල්ල වියදම් කළා ඉන්ධන ගන්න. ඩොලර් සංචිත ඒ වෙනුවෙන් යෙදෙවුවා.

 ගත්ත ඉන්ධනවලට පිරිවැය ආවරණය කළේ නැහැ. ඒ නිසා අර්බුදයක් ඇතිවුනා. පසුගිය වසර තුළ අපිට ගන්න වුණු තීන්දු ජනප්‍රය තීන්දුත් නෙමෙයි, කැමැත්තෙන් ගත්ත ඒවාත් නෙමෙයි. ජවිපෙ සටන්පාඨ මොනවද? විදුලිය ලබා දියව්. ඉන්ධන ගෑස් ලබා දියව්. කිරිපිටි ලබා දියව්. මේවා තමයි ඔවුන්ගේ සටන්පාඨ වුණේ. මේ සටන්පාඨ 4 ම අපි මේ වසරක කාලය තුළ අයින් කළා. ඊට පස්සේ ජවිපෙට ජනතාව ඉදිරියට ගිහින් කියන්න සටන් පාඨ තිබුණේ නැහැ. එක එක හේතු කියලා, මිනිසුන්ව බය කරලා රැස්වීම්වලට අරන් ගියා. ජවිපෙ ඉතිහාසයෙත් යොදා ගත්තේ මේ ක්‍රමයයි.

තමන්ගේ ගේ වට කරනවිට ගෝඨාභය ජනාධිපතිතුමා එදා නියෝගයක් දුන්නා නම් වෙඩි තියන්න කියලා. රට විනාශ වෙනවා. එතුමා මේ ලගදි මුණ ගැහුණ වෙලාවෙදිත් කිව්වේ මම බෞද්ධ දර්ශනයෙන් ඉගෙන ගත්ත දේ තමයි අත්හැරීම කියලා. එතුමා ගත්ත හොඳම හා නිවැරැදිම තීන්දුව තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිවරයා බවට පත් කිරීම.

 මේ රටේ ස්ථාවර ආණ්ඩුවක් හදන්න එතුමාව ජනාධිපති කරන්න මාර්ගය හදලා දුන්නා. අපි කකුලෙන් ඇද්දොත් මොකක්ද වෙන්නේ. රට ආයේ යනවා පෝලින් යුගයට. රට ආයේ සන්නද්ධ අරගලකරුවන්ගේ භූමියක් බවට පත්වෙනවා. මේ ආණ්ඩුවට ශක්තිය දෙන්නෙත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශක්තිය දෙන්නෙත් රට ස්ථාවර කරලා රටේ අනාගතයට ශක්තිය ලබා දෙන්නයි. පෞද්ගලික කිසිවක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ පැවසීය.

මීට වසරකට පෙර ලෝකයා අපේ රට ‍දිහා බැලුවේ ඉතියෝපියාව දිහා බලනව වගේ. නමුත් වසරකට පස්සේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර අරගෙන රට යථා තත්ත්වයට පත්කරල තිබෙනවා. දැන් මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන්. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත්වෙනකොට ඒ තනතුරට වත්මන් ජනාධිපතිතුමා පත්කරන්න ගත්තු තීරණය සම්බන්ධයෙන් අපි සතුටට පත්වෙනවා.

මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් අපි මේ වෙලාවෙ රට ගැන හිතන්න ඕන. අපිට පුද්ගලික දේශපාලන න්‍යායපත්‍ර නැහැ. මේ වෙලාවේ අපි ඉන්න ඕන රට ගොඩගන්න දේශපාලන න්‍යායපත්‍රයේයි. ඒ නිසා කොන්දේසි විරහිතව අපි රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදුන්නා. ඉදිරි වසර දෙකහමාරතුළත් රට ගොඩගෙන ආර්ථිකය ස්ථාවර කරන්නත් අපි ඔහුට මහය ලබාදෙනවා. ඒ විතරක් නෙමෙයි ගෝඨාභ්‍ය රාජපක්ෂය වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහතාට වෙන්නත් අපි ඉඩ තියන්නේ නැහැ.

රට ගොඩගන්න, මිනිස්සු ජීවත්කරන ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලට සහය දෙන ගමන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන වශයෙන් ශක්තිමත් වෙන්න ඕන. පසුගිය කාලයේදි ෆේස්බුක් එකේ ජනාධිපතිවෙලා හිටියේ අනුර කුමාර දිසානායක මහතායි. ඔහු දිගින් දිගටම රැස්වීම් තියාගෙන ගියා. අනුරගෙ රැස්වීම්වලට ජන ගඟක් කියල මාධ්‍යයේ පළවුණා. නාවලපිටියේ අපි අනුරගෙ රැස්වීමට හොඳම තැනක් දුන්නා. ඒ රැස්වීමට 950ක් විතර ආවා. නාවලපිටියේ රැස්වීමට දිස්ත්‍රික්ක තුනකින් සෙනඟ ගෙනාව. අරගලය වෙලාවේ මිනිස්සු ගෙනාවේ බයකරල.

අරගලයට නායකත්වය දුන්න සංවිධාන අටකට පිටරටින් ඇමරිකානු ඩොලර් බිලියන 8ක මුදලක් ලැබුණු බව පුවත්පත්වල පළව තිබෙනවා. මිනිස්සු දැන් මේව දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අන්තවාදීන් එක්ක කටයුතු කරන ත්‍රස්තවාදී සංවිධානයක්. මම ඒක හැමදාම කියනවා. 2009 දි ප්‍රභාකරන් මරන්න කටයුතු කරනකොට අයවැය පරාජය කරන්න කටයුතු කළේ  ජනතා විමුක්ති පෙරමුණයි. එදා මහින්ද මහත්තය පැරදුණානම් යුද්ධය තවමත් තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුගේ පියා ජාතික ලැයිස්තුවට නම්කළේත් ජනතා විමුක්ති පෙරමුණයි.

අනුරට තියෙන්නේ ඡන්ද තුනයි. කතාව පාර්ලිමේන්තුවේ 150ක් ඉන්නව වගේ. දැන් බඩු මිල අඩුයි, ඉන්ධන මිළ අඩුයි, විදුලිය දෙනව. ඒ නිස අද අනුරලාට ජනතාව අතරට එන්න මාතෘකා නෑ. මාධ්‍ය මර්ධන පනතක් අල්ලගෙන ඒකෙන් ගොඩ යන්න අනුරල හදනවා. මාධ්‍ය මර්ධනයක් වෙනව නම් අපිත් එතන නැහැ. නමුත් මාධ්‍ය නියාමනයක් සිදුවිය යුතුයි. එතන අපි ඉන්නවා.

සජිත් ප්‍රේමදාස මහතා හැමදාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියවනවා. මිනිහ පත්තර මල්ලි වගේ. සජිත් නැඟිටිනකොට අපේ මන්ත්‍රීවරුන්ගෙන් භාගෙට භාගයක් නැඟිටල යනවා. ඇවිදින්නෙත් ජනාධිපති වගේ. හෙට අනිද්දට ඔහුගෙ පිරිස් රනිල් වික්‍රමසිංහ මහතා ළඟ හිට ගන්නවා. අපේ අයගෙන් බොහෝ දෙනෙක් හෙලිකොප්ටරේ එල්ලිලා. එතන ඉන්න සියයට අසූවකට වැඩි පළාත් පාලන නියෝජිතයන් පිරිසක් නැවත අපි එක්ක එකතු වෙනවා. ඩලස් අලහප්පෙරුම අපෙන් ඡන්දය අරගෙන සජිත් එක්ක සන්ධාන ගහගත්තා. ඒක තමයි ඔහු කරපු ලොකුම වැරද්ද. ද සියළු දෙනා අපිත් එක්ක එකතු වෙමින් ඉන්නවා. අපි බය වෙන්න අවශ්‍ය වන්නේ නැ.

විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීනී මංජුලි දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *