සාමසාධක මෙහෙයුම් වෙනුවෙන් පරිත්‍යාගයක්

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගීවීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන්, නාවික හමුදා   පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිපදවූ ජංගම ප්‍රති ආශ්‍රැති ජල පෙරණ යන්ත්‍රය,  එම බලකාය වෙත නිල වශයෙන් භාර  දීම පසුගිය ජුලි මස 25 වන දින කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර පසුගිය  2022 වර්ෂයේ  දෙසැම්බර් මස 29 වන දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ මඟපෙන්වීම යටතේ, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහයෝගයෙන්, දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සමඟ සම්බන්ධ වීමට නියමිත  ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ භාවිතය  සඳහා අඩි 20  ප්‍රමාණයේ බහාලුමක් තුල මෙම ජංගම ජල පෙරණ යන්ත්‍රය නිපදවීම නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ආරම්භ කෙරිණි.

වෙළඳපොලේ පවත්නා මිලට වඩා අඩු පිරිවැයකින් සැලසුම් කර විශේෂයෙන් නිපදවන ලද මෙම ජල පෙරණ යන්ත්‍රය මඟින්  දිනකට ටොන් 60 ක පමණ ජල ප්‍රමාණයක් පිරිපහදු කිරීමේ  හැකියාව ඇති අතර, එහි  නිපදවීමේ  කටයුතු ඉහල ගුණාත්මකභාවයෙන්  යුතුව  සම්පූර්ණ කිරීමෙන් පසුව, මෙලෙස පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත නිල වශයෙන් භාර දීම සිදුවිය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සමාජයීය මෙහෙවර ව්‍යාපෘතියේ ජ්‍යේෂ්ඨ සම්බන්ධීකාරක, කොමාණ්ඩර් බුද්ධික රන්දිමාල් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *