අනුර කුමාර දිසානායක ඇමරිකා එක්සත් ජනපදයේ දස දින සංචාරයක් – සාර්ථක ශ්‍රී ලාංකික ජනහමු රැසකට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය 26 වැනි ඇමරිකා එක්සත් ජනපදයේ දස දින සංචාරයක් ඇරඹීය. එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජාජබ එක්සත් ජනපද කමිටුව විසින් රැස්වීම් මාලාව සංවිධානය කර තිබිණ. ලොස් ඇන්ජලීස්, හූස්ටන්, බොස්ටන්, වර්ජිනියා බීච්, වොෂින්ටන් හා නිව්යෝර්ක් යන නගරවලදී මෙම ශ්‍රී ලාංකික ජනහමු පැවැත්වෙයි. පුවත්පත මුද්‍රණයට යන විට මෙයින් ලොස් ඇන්ජලීස් – ඔක්:28, හූස්ටන් – ඔක්:29, බොස්ටන් – නොවැ:01 හා වර්ජිනියා බීච් – 03 ජන හමු සාර්ථක ලෙස අවසන් වී තිබිණි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක නායකයකු එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණනාවක් ආවරණය කරමින් මෙවැනි රැස්වීම් මාලාවක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙය වන්නේය. මෙම චාරිකාවේදී අනුර දිසානායකට එක්සත් ජනපද ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉහළම පිළිගැනීමක් ලැබී තිබිණි. කිලෝමීටර් දහස් ගණනක දුරින් පිහිටි නගර කරා ඔහුට යෑමට සිදුවූයේ අභ්‍යන්තර ගුවන් ගමන්වලිනි. සෑම නගරයකම අනුර නවාතැන් ගත්තේ පක්ෂ සාමාජිකයන්ගේ නිවෙස්වලය. අනුර පැවැසූ අන්දමට ඇමරිකාවේ බොහෝ නගරවල දී දැඩි වාහන තදබදයකට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය.

ඔහු නතර වූ සෑම නිවසකටම පක්ෂයේ නායකයා දැන හැඳින තොරතුරු කතා කිරීම සඳහා පාක්ෂිකයන් එක්රොක් වීම සාමාන්‍ය සිදුවීමක් විය. ඔවුන් වැඩි උනන්දුවක් දැක්වූයේ ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය පිළිබඳව අනුර හමුවී සැබෑ තොරතුරු දැන ගැනීමටය. ජන හමුවලට පැමිණි ඇතැමෙක් ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා පොහොට්ටුවට ඡන්දය දීමට ලංකාවට පැමිණි අය වූහ. ඔවුන් අනුර හමුවී එදා තමන් ගත් පියවර පිළිබඳව බලවත් කනස්සල්ලෙන් කතා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *