ජනතාව මුහුණ දී සිටින කෙටි කාලින අර්බුද වලට දීර්ඝ කාලීන විසඳුම් ලබාදෙන අයවැයක් සූදානම් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය.

ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහිත් අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි…

මේ වන විට ජනතාව මුහුණ දී සිටින කෙටිකාලීන ගැටළු කෙරෙහිත් අවධානය යොමු කරමින් , දීර්ඝ කාලීනව රට නගා සිටුවිය හැකි වැඩපිලිවෙලක් පදනම් කරගත් අයවැයක් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
හෙට දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය මේ වන විටත් සැකසෙමින් පවතින බවයි. එය අද රාත්‍රීයේදී මුද්‍රණය කිරීමට නියමිත බවද ඔහු එහිදි සඳහන් කළා.
කෙටි කාලීන ජනප්‍රියතාවය උදෙසා හෝ මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙවර අයවැය සකසා නොමැති බවත් , ජනාධිපතිවරයා රට භාරගැනීමේදී සඳහන් කළ ආකාරයට දිගු කාලීන ස්ථාවර එමෙන්ම පෙර සේ ආර්ථිකයේ පතුලට නැවත වතාවක් රට නොවැටෙන ආකාරයට කටයුතු කරන බවට කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් මෙවර අයවැය සැකසෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
සමස්ථ ජනතාව පීඩනයෙන් පසුවන අවස්ථාවක ඒ සඳහා විසඳුම් සෙවීමේ අභියෝගය, දීර්ඝ කාලීනව නැගිටින රටක් බවට රට පත්කිරීමේ අභියෝගය මෙන්ම ඒ සඳහා වියදම් සොයාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙවර අයවැය සකසා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා , ඒ සියල්ලට වඩා මෙතෙක් කළත් අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජයට හෝ භාණ්ඩාගාරයට තිබූ අසීමිත අයිතිවාසිකම් මේ වන විට රජයට නොමැති බවත්, සීමිතව ඇති එම අයිතිවාසිකම උපයෝගී කරගනිමින් දේශිය හා විදේශීය වශයෙන් ණය කෙරෙහි අවධානය යොමු කරමින්, අයවැය පරතරය අවම වට්වමක රඳවා ගැනීමේ අභියෝගටද දැඩිව මුහුණ දෙමින් මෙවර අයවැය සකස් කළ බවද එහිදී සඳහන් කළා.
කෙසේ වෙතත් සහන අවශ්‍ය දිලිඳු ජනතාව කෙරෙහිද වැඩි අවධානයක් යොමුකර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයද ධණාත්මක තැනකට පැමිණ ඇති බවත්, පැලැස්තර ක්‍රමවේද වලට නොගොස් ජාතියක් විදිහට සැවොම එක්ව නැගීටීමට පෙල ගැසෙන ලෙස ජනතාවට ආරාධනා කරන බවද ඔහූ එහිදී සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *