ෂැංහයි සමුළුවේදී තිරසාර රෙදි නිෂ්පාදනය සඳහා ආයෝජනය කරන ලෙස SLAEA සභාපති ඉල්ලා සිටී

ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය (SLAEA) චීනයේ ෂැංහයි නුවර පැවති 16 වැනි ගෝලීය රෙදිපිළි සහ ඇඟලූම් සැපයුම් දාම සමුළුවට මෑතකදී සහභාගී විය. මෙම සමුළුවේදී නවෝත්පාදන සහ ඉතා දියුණු නිෂ්පාදන ශිල්පීය ක‍්‍රම භාවිතයෙන් උසස් තත්වයේ රෙදිපිළි නිෂ්පාදන කරනු ලබන විශේෂිත කණ්ඩායම් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු විය.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම වාර්ෂික සමුළුව ඇමතූ SLAEA හි සභාපති ඉන්දික ලියනහේවගේ මහතා තිරසාර රෙදි නිෂ්පාදනය පිළිබඳව විශේෂයෙන් අවධාරණය කරමින් ‘Green dynamics and intelligent empowerment’ යන මැයෙන් සිය දේශනය ඉදිරිපත් කළේය.

‘‘ඇඟලූම් ශ‍්‍රී ලංකාවේ වැදගත් ක්ෂේත‍්‍රයක්. එය අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට 6% ක දායකත්වයක් ලබා දෙමින් පුද්ගලයින් 350,000 කට රැකියා සපයනු ලබනවා. කොවිඞ්-19 විසින් ගෙන එන ලද අභියෝග සහ ආර්ථික අර්බුදය මගින් ඇති කරන ලද ඉහළ උද්ධමනය මධ්‍යයේ වුවද ඇඟලූම් කර්මාන්තය අඛණ්ඩව ව්‍යාපාර මෙහෙයුම් පවත්වා ගෙන යනු ලැබුවා.’’ යනුවෙන් ලියනහේවගේ මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් තත්වය පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ලියනහේවගේ මහතා සඳහන් කළේ දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම මේ වන විට අවසන්ව ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකයට අදාල කටයුතු සිදු වෙමින් පැවතීමත් සමඟින් රට ස්ථාවරත්වය කරා ගමන් කරන බවයි.

ඇඟලූම් කර්මාන්තයට සම්බන්ධ බොහෝ සමාගම් WRAP, LEED සහ GOTS සහතික හිමි කරගෙන තිබීමත් සමඟින් තිරසාරභාවය සහ නීතිරීතිවලට අනුකූල වීම ශ්‍රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රය සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කර ඇති බව ඔහු අවධාරණය කළේය. ‘‘මෙගාවොට් 70කට අධික ධාරිතාවයෙන් යුත් වහලය මත සවිකළ සූර්ය බලශක්ති පද්ධතියක් ඇඟලූම් ක්ෂේත‍්‍රය සතුව ඇති අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා අපි අඛණ්ඩව අයෝජනය කරනවා. තිරසාරභාවය පිළිබඳව අප දැඩි උනන්දුවක් දක්වන අතර මේ සඳහා කර්මාන්තයේ ඉහළ පෙළේ නායකයින්නේ විශාල සහයෝගයක් අපට ලැබෙනවා. එමෙන්ම ඇඟලූම් නිෂ්පාදකයින් ගණනාවක් පාරිසරික බලපෑම අවම කරමින් සම්පත් භාවිත කිරීම, නැවත භාවිතය හා ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා දැඩි ලෙස කැපවී සිටිනවා. මීට අමතරව පරිසර හිතකාමී කර්මාන්තශාලා බොහොමයක් ආරම්භ වෙමින් තිබෙන අතර අපගේ ක‍්‍රියාමාර්ගවල තීරණාත්මක අංගයක් ලෙස ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.’’

රෙදිපිළි නිෂ්පාදනය සහ නවෝත්පාදනය සඳහා වැඩි සහයෝගයක් ලබා දෙන ලෙස ද SLAEA මෙහිදී ඉල්ලා සිටියේය. ‘‘ප‍්‍රධාන වශයෙන් නූල් සහ අමුද්‍රව්‍ය චීනයෙන් ආනයනය කරනු ලැබුවද කාබනික හෝ ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද රෙදිපිළි සඳහා ඉහළ යන ඉල්ලූම හේතුවෙන් ශක්තිමත් හවුල්කාරිත්වයක් අවශ්‍යයි. මඩකලපුව ප‍්‍රදේශයේ පිහිටා ඇති එරාවූර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත උද්‍යානය මේ සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. අපි ආයෝජකයින්ට සහ රෙදිපිළි නිෂ්පාදකයින්ට සහයෝගීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා වගේම එමගින් කාර්යයන් ඉක්මනින් අවසන් කිරීමටත් අපගේ නිෂ්පාදන හැකියාවන් වැඩි කිරීමටත් හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’

අක්කර 300කට වඩා වැඩි භූමි ප‍්‍රදේශයක් පුරා විහිදෙන මෙම කලාපය රෙදිපිළි නිෂ්පාදනයේ විවිධ අංශ සඳහා අවස්ථා ලබා දෙයි. නිෂ්පාදකයින්ට මෙම කලාපය තුළ වෙනත් පහසුකම් පිහිටුවීමට හැකියාව ඇති අතර දේශීයව ලබාගත් රෙදිපිළි භාවිතයෙන් අමුද්‍රව්‍ය ලබා ගැනීමට ගතවන කාලය අවම කරගත හැකි අතර සමස්ත පිරිවැය ද අඩු කරගත හැකි වේ. නිෂ්පාදකයින් සඳහා වන ප‍්‍රධාන ප‍්‍රතිලාභ අතරට අපනයන සඳහා වසර 5-10 ක් දක්වා බදුවලින් නිදහස් කිරීම, ආනයනික අමුද්‍රව්‍ය සඳහා තීරු බදු සහ බදු අය නොකිරීම, බදු සහන සහ අමතර බදුවලට යටත් නොවී ඔවුන්ගේ මුළු ලාභයම තම මව් රටට ආපසු ගෙන්වා ගැනීමේ හැකියාව ආදිය ඇතුළත් වේ.

‘‘ඉන්දියන් සාගරයේ ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ උපරිම වාසිය අප ලබා ගත යුතුයි’’ යනුවෙන් ලියනහේවගේ මහතා අවධාරණය කළේය.

16 වැනි ගෝලීය රෙදිපිළි සහ ඇඟලූම් සැපයුම් දාම සමුළුවට චීන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ලොව පුරා සිටින රෙදිපිළි, නූල්, trims සැපයුම්කරුවන් මෙන්ම ඇඟලූම් නිෂ්පාදකයින් ඇතුළු ඇඟලූම් නිෂ්පාදනයේ ප‍්‍රධාන පාර්ශවකරුවන් සහභාගී විය. දවස් තුනක් පුරා පැවති මෙම සමුළුවේදී ඉහළ පෙළේ රෙදිපිළි කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා විශේෂඥ කමිටුවක් ද පත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *