නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳ පැහැදිලි තොරතුරු සමාජ ගත කළ යුතුයි. – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා

නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල වල පළවන සියලු දේ සත්‍ය ලෙස සළකා කටයුතු කිරීම තුළින් ගැටළු මතු වීමට පෙර සෞඛ්‍ය අංශ නිවැරදි හා පැහැදිලි තොරතුරු සමාජගත කළ යුතු බවත් මහජනතාවද නිසි වෛද්‍ය උපදෙස් අනුව පමණක් කටයුතු කිරීම උචිත බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා නීතීඥ ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කර සිටීයේය. මේ බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ‘පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද වැඩසටහන’ වැඩසටහන් මාලාවෙහි මධ්‍යම පළාත් වැඩසටහන එම මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදී අදහස් දක්වමිනි.

මෙම වැඩසටහනේදී පළාත තුල වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවයක් ස්ථාපිත කිරීම උදෙසා පවතින ගැටලු හදුනාගනිමින් ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පැවති අතර, එහිදී ඩෙංගු වසංගත තත්ත්වය, වසංගත රෝග ව්‍යාප්තිය මැඩලීම, බෝ නොවන රෝග පාලනය , රෝහල් ආශ්‍රිත පවතින ගැටලු ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ මෙවැනි කාලීනව වැදගත් වැඩසටහනක් පළාත් මට්ටමෙන් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටින බවත් එම මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී ද පළාත තුල පැවති ගුරු සහායක ගැටලුව විසදීම සදහා තමා වෙත දැක්වු සහයෝගය අගය කර සිටින බවය. පළාත තුල පවතින සෞඛ්‍ය ගැටලු විසදමින් වඩා කාර්යක්ෂම සෞඛ්‍ය පද්ධතියක් පළාත තුල ස්ථාපිත කිරීම උදෙසා අවශ්‍ය සියලු සහාය පළාත් සභාවක් ලෙස ලබාදෙන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

මහජන නියෝජිතයින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සදහා තමන් මුහුණ දෙන පළාත් යාන්ත්‍රණය තුළ විසදා ගැනීමට නොහැකි කරුණු සාකච්ඡා කිරීම සදහා විශේෂ ඉඩකඩක් මෙහිදී වෙන්කොට තිබීම විශේෂ කාරණයක් විය.

සෞඛ්‍ය සේවා ගැටළු කෙරෙහි මධ්‍යම පළාතේ ක්‍රියාන්විතය තුළ විශේෂතා ලක්ෂණ කිහිපයක් තමන් අධ්‍යයනය කළ බවත් සමහර නිර්මාණශීලී උපයෝගිතා හරහා වඩා හොඳ සෞඛ්‍ය සේවයක් මහජනතාව වෙත ලබා දීම අගය කරන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග අතර වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩල වැනි මානව සම්පත් ගැටලුව, රෝහල් වල වැඩිදියුණු කිරීම් වල අවශ්‍යතා, මෙන්ම විශේෂයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වා දුන් සුවිශේෂී මන්දපෝෂණ තත්ත්වය කෙරෙහි අවධානය යොමුකර කඩිනමින් විසදීම සදහා කණ්ඩායමක් ලෙස එකට කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරන ලදී.

මෙම සාකච්ඡාව සදහා රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානයක, ලොහාන් රත්වත්තේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ද මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගුණතිලක රාජපක්ෂ, මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳගොඩ යන මහත්වරුන්ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පී.ජී.මහීපාල, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් අධිකාරි යන රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *