සම්පත් බැංකුව, තල් අරණේ ගොවි බිම් දියවරෙන් සරු කරනු වස් ප්රතිසංස්කරණය කළ වවුනියාව කිඩාච්චුරි වැව ගොවි ජන අයිතියට පත් කරයි……

දැඩි හිරු රශ්මියත්, කර්කෂ පොළවත් සමඟ සටන් වදිමින් ජීවිතය ජය ගන්නට වෙරදරන උතුරුකරේ ගොවි ජනතාවගේ හිතට සිසිලක් ගෙන එන්නට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කරන ලදී. ඒ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද වවුනියාව කිඩාච්චුරි වැව කෘෂිකර්මාන්තයේ අස්වනු සරු කර ගැනීමට අවැසි දියවර සපයා ගැනීම සඳහා ගොවි ජනතාව වෙත පවරා දෙමිනි. මෙම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, අලෙවි හා පාරිභෝගික සබඳතා තාරක රන්වල මහතා, ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතා, වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්.අබේරත්න මහතා, නියෝජ්‍ය කොමසාරිස් බී.තේවරදන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කණ්ණගි ගොවි සංවිධානයේ නිලධාරීන් ඇතුළු සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

අපේම සම්පත් තුළින් දැයේ ආර්ථිකයට සුවිසල් දායකත්වයක් දැක්වීම වෙනුවෙන් දහදිය හෙලන උතුරු පළාතේ ගොවි ජනතාව මිරිස්, ලූණු, අර්තාපල් වැනි අත්‍යාවශ්‍ය ආහාරයන් මෙරට ජනතාව වෙත සපයනු ලබන්නේ දේශීයත්වය ප්‍රමුඛ කොටගත් කෘෂි ආර්ථිකයට සවිමත් අත්වැලක් සපයමිනි. ඉන් නොනැවතී විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව අක්කර ගණනාවක් පුරා විහිදුණු කූඹුරු යායන් අස්වද්දමින් දැයේ කුසගිනි නිවන්නට සිය දහදිය  හෙලන උතුරු පළාතේ වවුනියාව ගොවි ජනතාවගේ අවශ්‍යතාවන් මනාව හඳුනාගත් සම්පත් බැංකුව කිඩාච්චුරි වැව ප්‍රතිසංස්කරණය සඳහා පියවර ගත්තේ වැවට ජීවයක් තුළින් ජීවය ලබන උතුරු පළාතේ පළමු වාරි ව්‍යාපෘතිය මෙන්ම වැවට ජීවයක් තුළින් ප්‍රතිසංස්කරණය වන 20 වැනි වාරි කර්මාන්තය සනිටුහන් කරමිනි.

උත්සාහය හා අවශ්‍යතාවය කෙතරම් වුවද තමන්ට යල, මහ දෙකන්නයම රිසි සේ අස්වද්දන්නට අවැසි දියවර සපයා ගැනීමේ දුෂ්කරතාවය නිසාම ඉච්චන්කුලම් ගොවි ජනතාවට සිදු වූයේ සුවිසල් ප්‍රදේශයක් පුරා විහිදුණු අරාජික කිඩාච්චුරි වැව දෙස බලා සුසුම් හෙලීමට පමණි. වසරකට එක් කන්නයක් වගා කොට දිවි සරිකරගත් ඔවුන් සිය කණ්ණගි ගොවි සංවිධානය යටතේ වැව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් විවිධ ආයතනයන්ගේ පිහිට පතන්නට වූහ. සම්පත් බැංකුවේ  ‘වැවට ජීවයක් ’ වැඩසටහන සඳහාද ඔවුන් සිය අවශ්‍යතාව යොමු කරනු ලැබුවේ ඒ අනුවය. ගොවි ජනතාවට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට වඩා හොඳ හෙට දවසක් උදා කිරීම මෙන්ම අභාවයට යමින් පවතින ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තයේ වාරි සංස්කෘතිය යළි නඟා සිටුවීම අරමුණු කොට ගනිමින් ආරම්භ කරනු ලැබූ  ‘වැවට ජීවයක් ’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ වවුනියාව, ඉච්චන්කුලම්, කිඩාච්චුරි වැව ප්‍රතිසංස්කරණය සඳහා සම්පත් බැංකුව පියවර ගනු ලැබුවේ ඒ අනුවයි.

උතුරු පළාතේ ගොවි පවුල් 290ක් පමණ ඍජුව ප්‍රතිලාභ ලබන අක්කර 185ක් පුරා විහිදෙන ගොවි බිම් පෝෂණය කරන කිඩාච්චුරි වැව වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණයට ලක් නොවීම හේතුවෙන් අබලන්ව පැවතියේ ගොවි ජනතාවට තමන්ගේ ගොවි තැන් කටයුතු පවා නිසි පරිදි සිදු කර ගැනීමේ අවස්ථාවද ඔවුන්ගෙන් ඈත් කරමිනි. වැවෙහි ප්‍රධාන සොරොව් දෙක අබලන් වීම හේතුවෙන් වැවට ජලය ගලාගෙන ඒමට ක්‍රමවේදයක් නොපැවතිණ.  ඒ නිසාම ඉතා අබලන් තත්වයක පැවති කිඩාච්චුරි වැව පරිපූර්ණ වාරි පද්ධතියක් බවට පත් කිරීමේ වගකීම සම්පත් බැංකුව භාර ගත්තේ වවුනියාවේ ඉච්චන්කුලම් ගොවි ජනතාවට බලාපොරොත්තුවේ දෑත් දිගු කරමිනි. ඒ අනුව වැවෙහි ප්‍රධාන සොරොව් දෙක සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ජල කාන්දුව නිසි පරිදි සකස් කොට පෝෂක ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේත් වැවෙහි අනෙකුත් සියලු අවශ්‍යතා සොයා බලමින් ප්‍රතිසංස්කරණය කිරීමේත් වැඩ කටයුතු ආරම්භ කළ සම්පත් බැංකුව ඉතා කෙටි කාලයක් පරිපූර්ණ වාරි පද්ධතියක් ගොවි ජනතාව වෙත ලබා දීමට කටයුතු කරනු ලැබීය. එම සංවර්ධන කටයුතු වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තාක්ෂණික දායකත්වය ලබා දීමද විශේෂත්වයකි.

වවුනියාවේ ඉච්චන්කුලම් ගම්මානයට වසන්තය කැන්දන් ආ මෙම අවස්ථාවට එක් වෙමින් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය “වැවට ජීවයක් සමාජ සත්කාරක  වැඩසටහන යටතේ වන 20 වැනි වාරි ව්‍යාපෘතිය ලෙස ආරම්භ කළ  වවුනියාව කිඩාච්චුරි වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා ඉක්මණින් නිම කරමින් උතුරු පළාතේ ගොවි ජනතාව වෙත පරිපූර්ණ වාරි පද්ධතියක් ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. දැන් වවුනියාව ඉච්චන්කුලම් ගොවි ජනතාවට කිසිඳු කරදරයකින් තොරව වසරේ කන්න දෙකෙහිදීම කුඹුරු ගොවිතැන් කළ හැකියි. එය ඔවුන්ට මෙන්ම රටටත් ඉතා සුබ පණිවිඩයක් වනු ඇතැයි සම්පත් බැංකුවේ අපේක්ෂාවයි. උතුරු පළාතේ  ගොවි ජනතාවගේ ආර්ථික තත්වය නංවාලීම සඳහා මෙන්ම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සළසා දීම වෙනුවෙන් තවදුරටත් දායකත්වය දැක්වීමට සම්පත් බැංකුව ඉදිරියේදීත් කටයුතු කරන බව මේ මොහොතේ මතක් කිරීමට කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට විවිධාකාරයෙන් දායකත්වය දැක්වූ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනයන්ටත්, නිලධාරීන්ටත්, කණ්ණගි ගොවි සංවිධානයට හා ගම්වාසීන් සියලු දෙනාටත් සම්පත් බැංකුව වෙනුවෙන් මගේ ස්තුතිය පුදකර සිටිනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

සම්පත් බැංකුව විසින් මීට දශක දෙකකට පමණ පෙර ආරම්භ කරනු ලැබූ  ‘වැවට ජීවයක් ’ සමාජ සත්කාරක ව්‍යාපෘතියෙහි අරමුණ වූයේ අභාවයට යමින් පවතින සාම්ප්‍රදායික වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කරමින් රටට බත සපයන වියළි කලාපයේ ගොවි ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීමට අවැසි කෘෂිකර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් දායක වීමයි. විශේෂයෙන් යල හා මහ යන දෙකන්නයම අස්වැද්දීමට අවශ්‍ය දියවර සැපයීම වෙනුවෙන් වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ගොවි ජනතාවගේ ආර්ථිකය නගා සිටුවන අතරම ග්‍රාමීය ආර්ථික දියුණුව ඉහළ නැංවීමටද හැකියාව උදා වේ. එසේම පාරිසරික වශයෙන්ද පරිපූර්ණ වැවක වැදගත්කම මෙහිදී අවධානයට ලක්ව ඇත. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන් හා සමපාත වන මෙම වැඩසටහන තුළින් කෘෂි කර්මාන්තය, කෘෂි ව්‍යවසායකත්වය නගා සිටුවීම පමණක් නොව වෙනත් විවිධ ජීවනෝපායන් වෙතද ධනාත්මක බලපෑමක් එල්ල වේ.

සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100% ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීම (Touch-less Cash withdrawal) ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.

සම්පත් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂිකා අයෝධ්යා ඉද්දවෙල පෙරේරා මහත්මිය වැවට ජීවයක් වැඩසටහන යටතේ ප්රතිසංස්කරණය කළ වවුනියා කිඩාච්චුරි වැවෙහි මංගල දියවර මුදා හැර ජනතා අයිතියට පත් කළ අයුරු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *