දියවැඩියාව පාලනයේදී ඖෂධ භාවිතයේ වැදගත්කම හා ඒ සම්බන්ධ දුර්මත පිටු දැකීම

වෛද්‍ය කයත‍්‍රි පෙරියසාමි විසිනි

දියවැඩියාව පාලනය පිළිබඳ කතා කිරීමේදී බොහෝ විට දියවැඩියා රෝගීන්ගේ තත්වය මනාව පාලනය කර ගැනීමට නොහැකි වන එක් කරුණක් වන්නේ ඒ සම්බන්ධයෙන් වන වැරදි ආකල්පයි. දියවැඩියා ඖෂධ භාවිතයෙන් දියවැඩියාව පාලනය කිරීම නොකළ හැකි බව බොහෝ දෙනා අතර පවතින එවන් දුර්මතයකි. දියවැඩියාව සම්බන්ධයෙන් එම දුර්මතය පිටු දකිමින් දිගු කාලීනව එම රෝගය පාලනය සඳහා ඖෂධ භාවිතයේ වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා දීම මෙම ලිපියෙහි අරමුණයි.

මේ වන විට ගෝලීය වශයෙන් දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ශ‍්‍රී ලංකාව තුළද එම වර්ගයේ රෝගීන්ගේ වර්ධනයක් දැකිය හැකි වීම අවාසනාවට කරුණකි. මෙහි පවතින අනෙක් කණගාටු දායක තත්වය වන්නේ මෙම දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ගෙන් අඩකටත් අඩු ප‍්‍රමාණයක් ප‍්‍රමාණවත් ග්ලයිසමික් පාලනය කිරීමට කටයුතු නොකිරීමයි. ඒ සඳහා වන ඖෂධ ලබා ගැනීමට ඇති අකමැත්ත හා නිසි ඖෂධ ක‍්‍රමවේදයන් පිළිනොපැදීම වැනි කරුණු හේතුවෙන් මෙම තත්වය තව තවත් ඉහළ යා හැකි බව දැකිය හැකිය.

රෝග තත්වයන් සඳහා ඖෂධ ලබා ගැනීමට බොහෝ දෙනා කටයුතු නොකරන්නේ ඒවා ලබා ගැනීම තුළින් දිගු කාලීන අතුරු ආබාධ ඇති විය හැකි බවට පවතින ඍණාත්මක විශ්වාස හේතුවෙනි. එහෙයින්  ඖෂධ පිළිබඳව සැකයෙන් යුතුව කටයුතු කරන ඔවුන්ට ප‍්‍රමාණවත් ග්ලයිසමික් පාලනයක් පවත්වා ගැනීම අසීරු වී ඇත. ග්ලයිසමික් පාලනය නොකිරීම නිසා විවිධ රෝගාබාධ මෙන්ම මරණ ප‍්‍රමාණයද ඉහළ යා හැකිය. ඒ නිසාම සෞඛ්‍ය සේවාවන් සඳහා වන වියදමද බොහෝ සෙයින් ඉහළ යනු ඇත. අපගේ මෙහෙවර වන්නේ සුවපත් දිවියක් වෙනුවෙන් දියවැඩියා රෝගය වළක්වා ගැනීම හා පාලනය සඳහා අවශ්‍ය දැනුම සහ ඊට අවශ්‍ය මෙවලම්වලින් පුද්ගලයින් සවිබල ගැන්වීම වන අතර ඒ සඳහා දියවැඩියාව පිළිබඳ මිත්‍යා විශ්වාසයන් පිටු දකිමින් නිවැරදි මග පෙන්වීමක් ජනතාව වෙත ලබා දීමට අපි කටයුතු කරමු.

දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ ඖෂධ භාවිතය පිළිබඳ ගැටළු නිරාකරණය කිරීම තුළින් සෞඛ්‍ය සේවාවන් සඳහා වන වියදම අවම කිරීමටත් රෝගීන්ගේ සුවපත් භාවය ඉහළ නැංවීමටත් හැකි වන අතර සුව දිවිය වැඩසටහන මේ වන විටත් දියවැඩියාව වැළැක්වීම හා පාලනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පෙරමුණ ගෙන සිටියි. ඒ යටතේ ආයතන හා ප‍්‍රජාව ඉලක්ක කොට ගනිමින් වෙබිනාර්, සම්මන්ත‍්‍රණ හා වැඩමුළු 5000කට අධික සංඛ්‍යාවක් සංවිධානය කිරීමට ඔවුන් කටයුතු කර තිබීම විශේෂත්වයකි.

ඖෂධ යනු රෝගයක් සුවපත් කිරීම සඳහා වන නිෂ්පාදනයකි. විශ්වාසයෙන් යුතුව ඖෂධ භාවිතය දියවැඩියා තත්වය පාලනය කිරීම ඉහළ නැංවීමට හේතුවක් වනු ඇති අතර ඒ වෙනුවෙන් වන දුර්මත පිටු දකිමින් ඊට අවශ්‍ය දැනුම හා මෙවලම් ලබා ගැනීමට ඔවුන් දිරිමත් කිරීම ඉතාමත් වැදගත්ය. තමන්ට හෝ තමන්ගේ පවුලේ අයෙකුට දියවැඩියාවට ගන්නා බෙහෙත් සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් කළ යුතු ප‍්‍රමුඛ කාර්යය වන්නේ පවුලේ වෛද්‍යවරයා හමුවී ඒ සම්බන්ධයෙන් විමසීමයි. පවුලේ වෛද්‍යවරයා විසින් අදාළ ඖෂධයන්හි අවශ්‍යතාව පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දෙමින් ඔබේ සැකය දුරු කරනු ඇති අතර එය දියවැඩියාව පාලනය සඳහා ඔබට මහඟු අත්වැලක් වනු ඇත.

තවද සමබර ආහාර වේලක් ගැනීම, දිනපතා ව්‍යායාම කිරීම, ඵළදායී ආකාරයෙන් ශරීරයේ බර පවත්වාගෙන යාම වැනි කටයුතු දියවැඩියා පාලනයේදී අනිවාර්ය සාධක බව සිතට ගත යුතුය. ඖෂධ පමණක් නොව ඉහත දැක්වූ සාධක මනා සෞඛ්‍යය තත්වයක් පවත්වා ගැනීමට මෙන්ම ග්ලයිසමික් පාලනයටද ඉතා වැදගත් වේ.

වෛද්‍යවරුන් තමන්ගේ සෞඛ්‍ය යහපැවැත්මෙහි හවුල්කරුවන් ලෙස සැලකීම සඳහා රෝගීන් දිරිමත් කිරීමද මෙහිදී වැදගත් වේ. සෞඛ්‍ය සේවා සපයන්නන් සමඟ විවෘත හා විශ්වාසදායී සබඳතාව පවත්වා ගැනීම තුළින් ඒ සම්බන්ධ සියලූ ගැටළු නිරාකරණය කර ගැනීමට ඉඩකඩ විවර වේ. තවද නිරන්තරයෙන් රෝගීන්ට තමන්ගේ රෝගය සම්බන්ධයෙන් ඇති හැඟීම, විකල්ප ප‍්‍රතිකාර ක‍්‍රම හෝ දියවැඩියා පාලනය වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීමට ඔවුන්ට හැකි බව ඒත්තු ගැන්වීමද ඉතා වැදගත් කරුණක් ලෙස මෙහිදී පෙන්වා දිය හැකිය.

රෝගීන් තමන්ගේ දියවැඩියා රෝග තත්වයන් පිළිබඳ ගැටළු ඉදිරිපත් කිරීමේදී ඔවුන් අත් විඳින ඕනෑම අතුරු ආබාධයක් පිළිබඳව විවෘතව අදහස් දැක්වීමට අවස්ථාව ලබා දිය යුතුය. වෛද්‍යවරුන් හට ඒ අනුව ප‍්‍රතිකාර සැලසුම් සකස් කිරීමට හැකි අතර රෝගීන්ගේ කාර්යක්ෂමතාව හා ඉවසීම වෙනුවෙන් ඖෂධ සැලසුම්වල වෙනස්කම් සිදු කිරීමටද මේ විවෘත සන්නිවේදනය ඉතා වැදගත් වේ.

සාමාන්‍යයෙන් දියවැඩියා රෝගියෙකුට ඖෂධ එකක් හෝ කිහිපයක් නියම කරනු ලබයි. ඒ සෑම ඖෂධයකටම අදාළ ක‍්‍රියාකාරීත්වයක් පවතින අතර සෞඛ්‍ය සේවා සපයන්නන් විසින් රෝගීන්ට ගැලපෙන අයුරින් ඖෂධ ලබා දීමට මෙන්ම අතුරු ආබාධ අවම කරන ප‍්‍රතිකාර සැලසුම් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. රෝගියාගේ ග්ලයිසමික් පාලනය පමණක් නොව සමස්ත වශයෙන් මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීම අරමුණු කොට ගනිමින් අවදානම් අවම ඖෂධයන්ට ප‍්‍රමුඛත්වය ලබා දීමට ඔවුන් වග බලා ගත යුතුය.

ඖෂධ යනු මනා සෞඛයක් පවත්වාගෙන යාම සඳහා මෙන්ම දියවැඩියාව පාලනය හා දියවැඩියාව හේතුවෙන් ඇතිවන රෝගී තත්වයන් වැළැක්වීම අරමුණු කර ගනිමින් දියවැඩියා රෝගීන් වෙත ලබා දෙන්නකි. එහෙයින් දියවැඩියාව පාලනයේදී ඖෂධ අත්‍යාවශ්‍ය සාධකයක් බව රෝගීන්ට අවබෝධ කර දීම ඔවුන්ගේ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට වඩා වැදගත් වන අතරම ඔවුන්ගේ මිත්‍යා විශ්වාසයන් පිටු දැකීමටද එය හේතුවක් වනු ඇත. දියවැඩියා ඖෂධ සම්බන්ධයෙන් වන දුර්මතයන් මුලිනුපුටා දමමින් දියවැඩියාව පාලනය පිළිබඳව දැනුවත්, සෞඛ්‍ය සම්පන්න අනාගතයකට මග පෑදීමේ හැකියාව අප සතුය.

(දියවැඩියා රෝගය වැළැක්වීම හා පාලනය කෙරෙහි අවධානය යොමු කරමින් ජනතාව දැනුවත් කිරීම සඳහා  කැපවී කටයුතු කරන ලාභ නොලබන සංවිධානයක් වන සුව දිවිය පදනමෙහි නිර්මාතෘ විසින් මෙම ලිපිය ඉදිරිපත් කොට ඇත)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *