මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ඩොලර් මිලියන 150ක මූල්‍ය ආධාර ලබා ගැනීම

මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යොදන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක වනු ඇත. ඵලදායී තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළම භාවිතයන්ට අනුකූලව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි මුල්‍ය හා ආයතනික ධාරිතාව ඉහළ නැංවීම ද ව්‍යාපෘතියේ අරමුණක් වේ. එසේම, මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි ගෙවීම් සහ බැංකු විසර්ජන වගකීම් සපුරාලීමට හැකි වන පරිදි සංචිත ඉහළ නැංවීමට සහ මුල්‍ය පද්ධතිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ආරක්ෂා කිරීමට මෙන්ම ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි නීත්‍යානුකූල වගකීම් ඉටු කිරීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීමට ද සහාය වනු ඇත. එමෙන්ම ප්‍රතිපූර්ණය සඳහා ගත වන කාලය අඩු කිරීමට සහ යෝජනා ක්‍රමය පිළිබඳ මහජන දැනුවත්භාවය වැඩි කිරීමට ද ව්‍යාපෘතිය දායකත්වය සපයනු ඇත.

ව්‍යාපෘති සංවර්ධන අරමුණු සහ ව්‍යාපෘති සැලසුම්වලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියට අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මුල්යර ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතාද, ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙනුවෙන් ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් එච්. හඩාඩ්-සර්වොස් මහතාද, 2024 ජනවාරි 31 වැනි දින අත්සන් තබන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *