ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවය මාර්තු මස 1,2 සහ 3 යන දිනයන් හී නෙළුම් පොකුණේ දී !

(Mohamed Nazar)

ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවය මාර්තු මස 1,2 සහ 3 යන දිනයන් හී නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේ හා විහාර මහාදේවී උද්‍යානය කේන්ද්‍රව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ගීතා මහෝත්සවය පිළිබඳව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැළකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්සවය පවත්වන අතර බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙවර මෙය සංවිධානය කරනු ලබයි.

ඒ අනුව පළමු (මාර්තු 01) දිනයේ දී රංගෝලි හා චිත්‍ර තරඟ, සංස්කෘතිකමය විලාසිතා අංග, ශ්ලෝක ගායනා තරඟ ,යග්ග ගායනා , පැවැත්වීමට නියමිතය.

එසේම දෙවන (මාර්තු 02) දිනයේදී ගීතා මහෝත්සවය පිළිබඳව විද්වත් කතිකාමය වැඩසටහන් සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට සූදානම් කර ඇති අතර එහිදී සම්මන්ත්‍රණ සඳහා දේශීය මෙන්ම ඉන්දීය දේශකයන් ද සම්මන්ත්‍රණ සිදු කරයි.

ගීතා මහෝත්සවයේ තෙවැනි (මාර්තු 03) දිනයේ දී සංස්කෘතික අංග සහිත උලෙළ , සංස්කෘතික ප්‍රසංග,ගීතා යග්ග ගායනා කිරීම සහ සත්භාවනා යාත්‍රා විශේෂ පෙරහරක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර එදින ඉන්දීය පූජකවරුන් සියයකට අධික පිරිසක් සහභාගී වන විශේෂ පූජාවක් ද පැවැත්වේ.

එසේම මෙම දිනයන් තුනෙහි දී ම සංගීත ප්‍රසංග පැවැත්වෙන අතර වෙළෙඳ සහ පොත් ප්‍රදර්ශන අලෙවි කුටි ද සූදානම් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ සඳහන් කළේය.

‘ගීතා මහෝත්සවය මෙරටදී පැවැත්වීම තුළින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට ,අපේ රටේ දරුවන්ට ඉන්දීය විශ්වවිද්‍යාලයන් හි ඉගෙනීමට අවස්ථාව ලබා ගැනීම සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් ආදිය සංවිධානය කිරීම සඳහා ඉදිරියේ දී කටයුතු කරනවා.’

‘එසේම ඉදිරි කාලයේ දී තවත් රටවල් කිහිපයක් සමඟම මේ ආකාරයෙන්ම උත්සව පැවැත්වීමට සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් සිදු කිරීම මෙන්ම සෝදා පලු වී විනාශ වී ඇති හර පද්ධතීන් යහපත් ආකාරයට නැවත ගොඩනගමින් තරුණ කණ්ඩායම් වෙත ආරෝපණය කිරීම මෙහි අරමුණක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසිය.

ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දත්තා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ වැඩබලන කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ , අමාත්‍යාංශ අතිරේක ලේකම් සංස්කෘතික ප්‍රවර්ධන තිලක් හෙට්ටිආරච්චි, අමාත්‍යාංශ අතිරේක ලේකම් නාලීකා ගුණරත්න යන මහත්ම මහත්මිහූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *