ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් මිරිකී සිටින කාන්තාවන් සඳහා විශේෂ වැඩසටහනක්

එළඹෙන  මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් මිරිකී සිටින කාන්තාවන් සඳහාද විශේෂ සහන වැඩසටහනක් ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ එළඹෙන 08 වනදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ඒ පිළිබඳව දැනුවත් කිරීමට අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

සෑම සේවයක් වගේම තම නිවසේ සියලු කටයුතු කරට ගෙන සිදුකරන ගෘහණිය මොනම හේතුවක් නිසාවත් අවතක්සේරු නොකරන ලෙස කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

ලෝකයේ සෑම රටකම මාර්තු 08 කාන්තාවන්ට සුවිශේෂී දිනයක් බවද බොහෝ රටවල මෙම දිනය සමරන බවද පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් අඩකට වඩා වැඩි පිරිසක් කාන්තාවන් නියෝජනය වන බවද සඳහන් කළේය.

මාර්තු 08 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී  ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන උදෑසන 10ට ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මාර්තු 06 සහ 07 දෙදින දියත පරිශ්‍රෙය්දී උදෑසන 08ට පැවැත්වෙන ලියශක්ති 2024 නිෂ්පාදන පොළ සඳහා පැමිණෙන ලෙසද සැමට ආරාධනා කළාය.

මෙම පොළ සඳහා ලංකාව පුරා විශාල පිරිසක් පැමිණ තම අත්කම් නිර්මාණ ඇතුළුව නොයෙක් භාණ්ඩ අලෙවිය සදහා රැගෙන එන බවද පැවසුවාය. 

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම් එම්. යමුනා පෙරේරා මහත්මිය, අතිරේක ලේකම් සංවර්ධන නිල්මිණී හේරත් මහත්මිය සහ ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂ චම්පා උපසේන මහත්මියද සහභාගී වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *