HNB අල්නජා ඉස්ලාමීය බැංකු සේවාවන් සාර්ථකව ඉදිරියට ගෙන යමින් 2023 SLIBFI හිදී සම්මාන 5කින් පිදුම් ලබයි

  • HNB අල් – නජා වසරේ ඉස්ලාමීය මූල්‍ය ආයතන අංශය ඇතුළු රන් සම්මාන 3ක් හිමිකර ගනියි
  • හිශාම් අලි පරිවර්තනීය නායකත්වය සඳහා වන සම්මානයෙන් පිදුම් ලබයි
  • HNB අල් – නජා විසින් නම් කරන ලද සේවාදායකයින් ESG සම්මාන කාණ්ඩයේ රන් හා කුසලතා සම්මානයන් දිනා ගනී
  • ආරම්භ කර දශකයක් වැනි කෙටි කාලයක් තුළ ඉස්ලාමීය බැංකු අංශයේ රුපියල් බිලියනයක අවමය වාර්තා කරයි

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ අල් -නජා ඉස්ලාමීය බැංකු සේවාව පසුගියදා නිමාව දුටු ශ‍්‍රී ලංකා ඉස්ලාමීය බැංකු හා මූල්‍ය සේවා ඇගයීම් සම්මාන උළෙලේදී (SLIBFI) ඉස්ලාමීය බැංකුකරණයේ මෙරට ප‍්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය නැවතත් තහවුරු කරමින් ජයග‍්‍රහණ රැසක් තමන් සතු කර ගැනීමට සමත් විය. එහිදී සම්මාන 3කින් සිය විශිෂ්ටත්වය තහවුරු කළ HNB වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය ආයතනය ලෙස මෙන්ම වසරේ මූල්‍ය කවුළුව/ඒකකය ලෙස රන් සම්මාන දිනා ගත්තේය. ඉස්ලාමීය මූල්‍යකරණයේ අන්තර්ගත සංකීර්ණ මෙහෙයුම් ආකෘතියක් තුළ කාර්යක්ෂමතාව, අවදානම් කළමනාකරණය සහ ෂරියා නීතියට අනුකූල මූල්‍ය සේවාවක් ලෙස තහනම් කර ඇති පොලී උත්පාදනය වැනි තත්වයන් තුළ පවා මෙවන් ජයග‍්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකිවීම විශේෂත්වයකි.

මෙම විශිෂ්ට ජයග‍්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ‘‘ආරම්භයේ පටන්ම සෑම තරාතිරමකම පාරිභෝගිකයින්ගේ දියුණුව වෙනුවෙන් සුවිසල් දායකත්වයක් දක්වන HNB ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයෙන් ඒ ඒ පුද්ගලයාට අදාල විසඳුම් ලබා දීමේ අරමුණින් නිරන්තරයෙන් නව්‍ය නිෂ්පාදන හා සේවාවන් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙම සුවිශේෂී මෙහෙවරෙහි ප‍්‍රමුඛ සේවාවක් ලෙස බිම් මට්ටමේ මූල්‍ය හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් මීට දශකයකට පමණ පෙර HNB අල්-නජා ඉස්ලාමීය බැංකු සේවාව ආරම්භ කළා. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම මූල්‍ය පහසුකම් සලසා දීම හා අවස්ථාවන් උදාකර දීම වෙනුවෙන් HNB ඉස්ලාමීය බැංකු සේවාවේ කැපවීම මෙම සම්මානවලින් මනාව පෙන්නුම් කරනවා.’’ යනුවෙන් පැවසීය.

මෙම සම්මානවලට අමතරව ඉස්ලාමීය බැංකු ක්ෂේත‍්‍රයේ දියුණුව හා නව්‍යකරණය වෙනුවෙන් කැප වූ පුද්ගලයින් වෙත පිරිනැමෙන පරිවර්තන නායකත්වය සඳහා වන සම්මානය දිනා ගැනීමට HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉස්ලාමීය බැංකුකරණය හිශාම් අලි මහතා සමත් විය. ඉස්ලාමීය බැංකුකරණය මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමී සාමාජිකයකු වන අලි මහතා මෙරට විශාලතම ඉස්ලාමීය බැංකු සේවාවෙහි පුරෝගාමියකු ද වේ.

එම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ හිශාම් අලි මහතා පැවසුවේ ‘’ජාත්‍යන්තර වශයෙන් ඉස්ලාමීය මූල්‍ය වෙළෙඳපොල ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 4.2කට ආසන්න ප‍්‍රමාණයකට ළඟා වී තිබෙන අතර 2028 වසර වන තුරු 10%ක දළ වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගැනීමට අපේක්ෂිතයි. එය පසුගිය වසර කිහිපය තුළ අපගේ ඉස්ලාමීය බැංකු සේවාවේ වර්ධන වේගයට බෙහෙවින් සමාන වුනා. ඒවගේම ෂරියා නීතියට අනුකූලව බැංකු සේවාවන් අවශ්‍ය ගනුදෙනුකරුවන් වෙත සහාය දැක්වීම සඳහා තවත් බොහෝ සේවාවන් අප සතුයි. ඊට අමතරව බැංකු සමඟ මෙතෙක් ගනුදෙනු නොකළ පුද්ගලයින් වෙත බැංකු සේවාවන් හඳුන්වා දීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට විධිමත් බැංකු සේවාවක් ලබා දීම, ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රාග්ධනය, වෙළෙඳාම් සහ ආයෝජන ශ‍්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම සඳහා නව අවස්ථා නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ඉස්ලාමීය මූල්‍යකරණයේ පරිමාව ඉහළ නැංවීම, ණය ලබා දීම වැනි සේවාවන් තුළින් මෙරට ආර්ථිකය කඩිනමින් නගා සිටුවීමට අවශ්‍ය ශක්තිය ආර්ථිකය වෙත ලබා දීමට HNB කටයුතු කරනවා.’’ යනුවෙනි.

UTO EduConsult විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඉස්ලාමීය බැංකු හා මූල්‍ය සේවා ඇගයීම් සම්මාන උළෙල ශ‍්‍රී ලාංකේය ඉස්ලාම් බැංකුකරණය හා මූල්‍ය ක්ෂේත‍්‍රයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති සම්මාන උළෙලකි. ඒ තුලින් දේශීය මූල්‍ය කර්මාන්තයේ ප‍්‍රධාන ආයතනවල කැපී පෙනෙන කාර්යසාධනය ඇගයීමට ලක් කරන අතර මෙහි සම්මාන සඳහා අයදුම් කරන අයදුම්කරුවන් දැඩි සමාලෝචනයකට ලක් කරමින් වර්ෂයට අදාල විගණනය කරන ලද මූල්‍ය තොරතුරු මත පදනම්ව පිළිගත් විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග‍්‍රාහකයින් තෝරා ගනු ලබයි.

දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 254කින් හා ස්වයං සේවා යන්ත‍්‍ර (SSMs) 800කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත HNB තාක්ෂණික වශයෙන් වඩාත් ශක්තිමත් ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ බැංකුවකි. නිරන්තරයෙන් ආයතනික තිරසාරබව, යහපාලන හා විශිෂ්ටත්වය තුළින් සිය අභිමානය යළිත් තහවුරු කිරීමට සමත්ව ඇති HNB, ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 2022 වසරේ හොඳම ආයතනික පුරවැසියා (Best Corporate Citizen) ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය. එහිදී හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වෙමින් බැංකු ක්ෂේත‍්‍රයේ සිය පුරෝගාමීත්වය සනිටුහන් කළ HNB පාලන කාණ්ඩයේ ජයග‍්‍රාහකයා මෙන්ම ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය ද ඇතුළුව සම්මාන 4ක් ද තමන් සතු කර ගැනීමට සමත් විය.

තවද එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් අඛණ්ඩව හයවන වරටත් 2022 වසරේදී ලෝකයේ හොඳම බැංකු 1000 අතරට HNB සම්මානයට පාත‍්‍ර කර ඇත. තවද ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2023 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 13 වැනි වරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් ද HNB අභිසෙස් ලැබීය.

HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉස්ලාමීය බැංකුකරණය හිශාම් අලි මහතා

HNB හිි ඉස්ලාමීය බැංකුකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හිශාම් අලි (දකුණේ සිට හය වැන්නා), HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආයතනික බැංකුකරණ සමූහය (Wholesale Banking Group), දමිත් පල්ලෙවත්ත, (වමේ සිට පස්වැන්නා), HNB සහකාර සාමාන්‍යාධිකාරී ආයතනික බැංකුකරණ මජෙලා රුද්‍රිගු (දකුණේ සිට දෙවැන්නා), HNB සහකාර සාමාන්‍යාධිකාරී නැගී එන ආයතනික හා ව්‍යාපෘති මූල්‍ය විජය විද්‍යාසාගර යන මහත්ම මහත්මීන් සහ ජයග‍්‍රාහී ඉස්ලාමීය බැංකුකරණ කණ්ඩායම සිය සම්මාන අතැතිව. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *